ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ඡායාරූප ගතකර වට්ස්ඇප් කළ තිදෙනෙකුට වැඩවරදී

ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍රය ඡායාරූප ගතකර වට්ස්ඇප් මාර්ගයෙන් බෙදාහැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර රත්මලේ තිස්ස විදුහලේ විභාග මධ්‍යස්ථානයේ සේවය කළ ශාලාධිපතිවරයා, නිරීක්ෂක සහ එහි සේවය කළ තවත් ගුරුවරයෙකුගේ වැඩ තහනම් කිරීමට නිර්දේශ ඉදිරිපත් වී ඇති බව වාර්තා වෙයි.

උතුරුමැද පළාත් විභාග කටයුතු භාර නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂවරයා ලබාදුන් වාර්තාවෙන් මෙම නිර්දේශ ඉදිරිපත් කර ඇති අතර, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා විසින් එම නිර්දේශ ක්‍රියාත්මක කිරීමට සුදුසුයැයි අනුමත කර පළාත් අධ්‍යාපන ලේකම්වරයා වෙත යොමුකර ඇති බව වාර්තා විය.  

මේ අතර මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර පිටවී ඇති බවට තහවුරු වුවහොත් එම විභාගය නැවත පැවැත්වීමේ හැකියාව පවතින බව, අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය පවසන්නීය.

අද (20) කොළඹ පැවති ප්‍රවෘත්ති සාක්ච්ඡාවකදී ඇය ප්‍රකාශ කළේ, ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළැඹෙන තෙක් විභාගයේ පිළිතුරු පත්‍ර පරීක්ෂාව තාවකාලිකව අත්හිටුවා ඇති බවයි. 

පසුගිය සැප්තැම්බර් මස 15 වැනිදා පවත්වනු ලැබූ 2024, 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා විභාග මධ්‍යස්ථාන 2,849කදී දූ දරුවන් 323,7879ක් පෙනී සිටියේය.

කෙසේවෙතත්, විභාගයේ ප්‍රශ්න පත්‍රයක් පිටවූ බවට අනාවරණ වීමත් සමඟ දැඩි ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇති වූ අතර, පසුගිය දින කිහිපයේදීම මව්පියන් විභාග දෙපාර්මේන්තුව ඉදිරිපිට ඇතුළු ප්‍රදේශ රැසකදී විරෝධතාවල නිරත වූයේ සිය දරුවන්ට සාධාරණය ඉල්ලමිනි.

ඒ අනුව, සිද්ධිය සම්බන්ධයෙන්  විභාග දෙපාර්තමේන්තුව සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වනවිටත් පරීක්ෂණ ආරම්භ කර තිබේ. 

මේ අතර, 2023 වර්ෂයේ උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන් සඳහා විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා වන කඩඉම් ලකුණු අද (20) විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මගින් ප්‍රකාශයට පත් කළේය.

එහිදී ජෛව විද්‍යාව සඳහා සිසුන් 9,963ක්, භෞතීක විද්‍යාව සඳහා 7,609ක්, වාණිජ කළමනාකරණය සඳහා 8,080ක්, කලා විෂය ධාරාව සඳහා 11,601ක්, ඉංජිනේරු තාක්ෂණවේදය සඳහා 2,377ක්, ජෛව පද්ධති තාක්ෂණවේදය සඳහා 1,545ක්, බහුඅවයවික විද්‍යාව සහ කාර්මික කළමනාකරණය සඳහා 50ක් මෙන්ම වෙනත් විෂය ධාරාවන් සඳහා සිසුන් 720ක් විශ්වවිද්‍යාල සඳහා බඳවා ගැනීමට නියමිත ය.

ඒ අනුව අදාළ සිසුන්ට තමන් ඇතුළත් වන විශ්වවිද්‍යාලය සහ පාඨමාලාව තහවුරු කර ගැනීම සඳහා www.ugc.ac.lk වෙත පිවිසෙන ලෙස විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව දැනුම්දුන්නේය.

Facebook
Twitter
LinkedIn
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x