2025 සංචාරය කිරීමට හොඳම ස්ථාන 25 අතරට ශ්‍රී ලංකාවත්

බී.බී.සී පුවත් සේවය පළමු වරට ප්‍රකාශයට පත් කළ සංචාරක මඟ පෙන්වීමේ වාර්තාවට අනුව 2025 සංචාරය කිරීමට හොඳම ස්ථාන 25 අතරට ශ්‍රී ලංකාව ද ඇතුළත් වී තිබේ.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය සවිමත් කරන ප්‍රධානතම ආදායම් මාර්ගයක් වන සංචාරක කර්මාන්තය, 2019 පාස්කු බෝම්බ ප්‍රහාරයත්, කොවිඩ් වසන්ගතයත් හේතුවෙන් දැඩි කඩාවැටීමට ලක්විය. 

කෙසේ වෙතත් එවැනි පසුබිමක යළි මෙරට සංචාරක කර්මාන්තය ලොව පුරා ප්‍රවර්ධනය කිරීමට වැඩසටහන් රැසක් දියත් කිරීමේ ප්‍රතිඵලයක් වූයේ ගෙවුණු වසර තුළ පමණක් මිලියන 2 ඉක්ම වූ විදෙස් සංචාරකයින් මෙරටට පැමිණීමෙනි.

එලෙස දිනෙන් දින වර්ධනය වන මෙරට සංචාරක කර්මාන්තයට තවත් සුබවාදී බලාපොරොත්තුවක් එක්කරමින් පසුගියදා බී.බී.සී පුවත් සේවය 2025වසරේ සංචාරය කිරීමට හොඳම ස්ථාන 25 අතරට ශ්‍රී ලංකාව ද නම්කර තිබේ. 

ශ්‍රී ලංකාව එම ලැයිස්තුවේ 9 වැනි ස්ථානයේ පසුවන්නේ, එහි පළමු 10දෙනා අතර සිටින එකම දකුණු ආසියාතික රට බවට පත්වෙමිනි. 

බී.බී.සී පුවත් සේවය මෙලෙස සංචාරය කිරීමට හොඳම ස්ථාන 25 ප්‍රකාශයට පත්කළ ප්‍රථම අවස්ථාව ද මෙය වේ.

බී.බී.සී. ආයතනය මෙම නවතම වාර්තාව ඉදිරිපත් කර ඇත්තේ, සංචාරක මාධ්‍යවේදීන් සිදුකළ සමීක්ෂණ ප්‍රතිඵල සහ එක්සත් ජාතීන්ගේ ලෝක සංචාරක සංවිධානය, ලෝක සංචාරක කවුන්සිලය ඇතුළු ලොව පිළිගත් සංචාරක අධිකාරීන්ගේ තොරතුරු සහ සමීක්ෂණ මත පදනම් කරගනිමිනි. 

එම ලැයිස්තුවේ ශ්‍රී ලංකාව පිළිබඳ වූ සටහන තබන මාධ්‍යවේදිනී ක්ලෙයාර් ටරෙල් ශ්‍රී ලංකාව හඳුන්වා දී ඇත්තේ “මීදුමෙන් වැසුණු කඳු මුදුන්හි පිහිටි තේ වතු, සැරිසරන වන අලි ඇතුන්ගේ සිට පුරාණ විහාරස්ථාන සහ රළ පහර දක්වා, ශ්‍රී ලංකාව බොහෝ දේ ඇති රටක්” ලෙසයි.

ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදකාරී තත්ත්වයකට මෙන්ම කොවිඩ් වසංගතයෙන් සහ සිවිල් නොසන්සුන්තාවයකින් පීඩාවට පත් වූවද , ඔරොත්තු දෙන දූපත් ජාතියක් ලෙස ශ්‍රී ලංකාව සංචාරක ව්‍යාපාරය තුළින් නැවත සිය දෙපයින් නැඟී සිටීමේ අපේක්ෂාවෙන් පසුවන බව ද ඇය සිය සටහන තුළින් වැඩිදුරටත් පෙන්වා දී තිබේ. 

එමෙන්ම මෙරට දුම්රිය සංචාරයේ සුන්දර අත්දැකීම්, ස්වයං ත්‍රී රෝද සංචාර සහ නව ගුවන් සේවා සහ නව හෝටල් සංකීර්ණ මෙන්ම ඉතිහාසයේ සිට පැවතෙන ශ්‍රී ලාංකිකයින්ගේ සත්කාරකත්වය බී.බී.සී.ය විසින් ඇගයීමට ලක්කිරීම විශේෂත්වයකි.

Facebook
Twitter
LinkedIn
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x