RMV දූෂිත නිලධාරීන් හඳුනාගත් හැටි

234

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දූෂිත නිලධාරීන් හඳුනාගනු ලැබුවේ බුද්ධි අංශ නිලධාරීන් යොදවා වසරක් පුරා සිදුකළ තොරතුරු රැස්කිරීම්වලින් බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු පෙන්වා දුන්නේ විරෝධාතවලට එම තීරණ ආපසු හැරවිය නොහැකි බවය.

“අපි පහුගිය අවුරුද්දක කාලයක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කටයුතු පිළිබඳව නිරීක්ෂණය කෙරුවා.බුද්ධි අංශ නිලධාරීන් යොදවලා යම් යම් තොරතුරු ලබා ගත්තා.ඒ අනුව දූෂිත නිලධාරීන් සහ දූෂිත නැති නිලධාරීන් කවුද කියලා හඳුනගත්තා.බහුතරයක් නිලධාරීන් දූෂිත නිලධාරීන්. ඒ දෙපාර්තමේන්තුව තුළ නොසිටිය යුතු නිලධාරීන් යම් ප්‍රමාණයක් අපි හඳුනගත්තා. මේ අය විතරක් මාරු කළොත් මේ අයට ගිහින් අලුත් රාජකාරී ස්ථානයේ වැඩකරන්න ප්‍රශ්නයක් වෙනවා මොකද දූෂිත නිසා ඉවත් කෙරුවා කියන චෝදනාව එනවා.මේ අය ඇතුළුව වාර්ෂික ස්ථානමාරු ලැබිය යුතු අය සහ ස්ථානමාරු ඉල්ලලා තියෙන අය ඇතුළත්ව මේ ස්ථානමාරුවීම් සිදුකරනවා.”යැයි ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසීය.

මේ අතර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවකයින් 600 කට වැඩි පිරිසකට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබාදීමට ගත් තීරණයත් සමග අද දහවල් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවකයින් සිය රාජකාරිවලින් ඉවත්වී විරෝධතාවයක් සිදු කළේය.

රාජ්‍ය ආයතනවල කාර්යක්ෂමතාවය සොයා බැලීමේ අරමුණින් පෙර නොදන්වා එම ආයතනවලට ගොස් නිරීක්ෂණය කිරීමේ වැඩපිළිවෙළ යටතේ ජනාධිපතිවරයා පසුගිය වසරේ දෙසැම්බර් මස දිනක මෝටර් රථ දෙපාර්තමේන්තුවේ වේරහැර කාර්යාලයට පැමිණියේ ය.

එම නිරීක්ෂණයෙන් පසුව නිලධාරීන් අල්ලස් ගන්නා බවට වූ පැමිණිලි රැසක් දෙපාර්තමේන්තුවට යොමුකිරීමට ජනතාව කටයුතු කර තිබුණි.

මෝටර් රථ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් සුමිත් අලහකෝන් මහතා පැවසුවේ, එම පැමිණිලි සැළකිල්ලට ගනිමින් සේවකයින් 600 කට වැඩි පිරිසකට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබාදීමට තීරණය කළ බවයි.

මේ අතර කොළඹ සව්සිරිපායේ පිහිටි ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරියේ සභාපති ඉවත් කරන ලෙස බලකරමින් එහි සේවකයින් අද විරෝධතාවක නිරත විය.

එහිදී ඔවුන් සභාපතිවරයාගේ කාමරයට පැමිණ විරෝධය පළකරන අතරවාරයේ විෂයභාර රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පැමිණියේ ය.