ෆිෆා අවුල් ජාලයක් වෙයි – රජ පවුලෙන් වාරණ රැසක්

ByPasindu

Nov 21, 2022

මැදපෙරදිග කලාපය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙන ඉතිහාසයේ පළමු ලෝක කුසලාන පාපන්දු තරගය අවුල් ජාලයක් වී ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අතර ලෝක කුසලාන ප්‍රවේශ පත් සියල්ල අලෙවි වී අවසානයේ තරග ආරම්භයට දින දෙකක් පමණක් ඉතිරිව තිබියදී පැනවුණු බීර තහනම ප්‍රධනය. මුස්ලිම් නීති සහ කටාර් රජ පවුලේ යෝජනාවකට අනුව තරග පැවැත්වෙන ක්‍රීඩාංගණවල සහ ප්‍රසිද්ධ ස්ථාන වල මත්පැන් පානය තහනම් කරන්නට සංවිධායකයන් පියවර ගෙන තිබේ. මේ අතර ඩොලර් බිලියන 200කටත් අධික ඉතිහාසයේ වැඩිම පිරිවැය සමගින් මෙවර ලෝක කුසලාන පැවැත්වුවද සත්කාර දේශයේ මාර්ග සහ ක්‍රීඩාංගණ අවට තවදුරටත් ඉදිකිරීම් කටයුතු අවසන් වී නැති බවද වාර්තා වේ.

එසේම මෙවර ලෝක කුසලාන නරඹන්නට පැමිණෙන ප්‍රේක්ෂකයන්ටද සිය ඇඟලුම් වෙනුවෙන් වාරණ පැනවීමට ද සූදානමක් පවතින බවද වාර්තා වී තිබේ.

තවද තරගාවලිය සඳහා සහභාගී වන ක්‍රීඩාලෝලීන්ට විශේෂ ක්‍රීඩා කලාපයක් පසුගියදා ආරම්භ කෙරුණු අතර එහි දිගු පෝලිම් වල පැය ගණනක් රැඳී සිටීමට සිදුව ඇතැයි මාධ්‍ය වාර්තා කරයි. මේ අතර සෙල්සියස් අංශක 32ක් වැනි උෂ්ණත්වයක එම ක්‍රීඩාලෝලීන් පෝලිම්වල රස්තියාදු වී ඇති බව වාර්තා වන අතර ඔවුන්ට ජල බෝතලයක් හෝ පෙනන මානයක නොතිබුණු බව වාර්තා වේ. තවද එරට පොලිසිය විසින් ක්‍රීඩාලෝලීන් සිය ජංගම දුරකථන වලින් ප්‍රසිද්ධියේ ලබා ගන්නා වීඩියෝ දර්ශන ඡායාරූප වලටද විරෝධයක් එල්ල කළ බව වාර්තා වේ.

ලෝක කුසලානය සඳහා පැමිණි ඇතැම් ක්‍රීඩාලෝලීන් එරට කන්ටේනර් බහලුම් මත නිමවුණු තාවකාලික කාමරද මිලට ගෙන ඇති අතර ඒවා එක් දිනකට ඩොලර් 440ක් දක්වා මුදලකට අලෙවි වී ඇති බවද වාර්තා වේ. නමුත් ඒවා පහසුකම් අතින් පහළ මට්ටමේ ඇතැයි ද පැවසේ. ක්‍රීඩාංගණ අවට පිරිස් පාලනය අතින් ද අක්‍රමවත් ආරක්ෂක වැඩපිළිවෙලක් පවතින බවද වාර්තා වේ