චරිත් අසලංක හා පැතුම්ය නිශ්ශංකය.ඔවුන් දෙදෙනා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සිටින හොඳම මිතුරන් දෙදෙනකු ලෙස ප්‍රසිද්ධිය. මේ සගයන් දෙදෙනා එකම දවසේ සිය ජීවිතයේ අලුත් පරිච්ඡේදයක් ඇරඹීම කාගේත් කුතුහලය දනවන සිදුවීමක් විය. සමහරු කීවේ ධනුෂ්ක ගුණතිලක විනය විරෝධීව හැසිරී දාගත් ලෙඩේ නිසා මේ අයගේ විවාහය ඉක්මන් වූ බවය. එත් චරිත් අසලංකගේ බිරිය වන කාවින්දිකා හංසිනි ඉහලවිතාන නම් කියන්නේ ඉක්මනින් විවාහය ලියාපදිංචි කළේ විශේෂ හේතුවක් නිසාවෙන් බවයි.
ඒ ඔවුන් පෙම්වතුන් වී වසර දහයක් පිරුණේ නොවැම්බර් විසි හය වැනිදාටය. එදිනට මේ විශේෂී දවස තවත් සුවිශේෂී මතකයන් ගොන්නක් එකතු කරගෙන සමරන්නට ඔවුන්ට සිතුණි. එත් එයට පරහට සිටියේ නැකතයි. ඒ නිසා ඔවුන් සුබ නැකැත් දවසක් වන නොවැම්බර් විසි අටවැනිදාට ඔවුන්ගේ ගිවිස ගැනීමේ කටයුතු කල්දමන්ට විය.
ඔවුන්ගේ මේ පෙම්කතාව පටන් ගත්තේ චරිත් රිච්මන්ඩ් විදුහලේ දහය වසරේත් කාවින්දිකා රිපන් බාලිකාවේ නවය වසරේත් සිටියදීය. මේ දෙදෙනාම ප්‍රාථමික අධ්‍යාපනය ලැබුවේ ඇල්පිටියේ ආනන්දයේය. එකම පාසල් වෑන් රියේ උදේ සවස හමුවන ඔවුන් කාටත් නොදැනීම පෙම්වතුන් වූයේ ශිෂ්‍යත්වය පාස් වී ඇල්පිටියේ සිට ගාල්ලේ ඉස්කෝලවලට එන ගමනේදීය.
‘‘අපි දෙන්නා පහ වසර වෙනකල්ම ගියේ එකම ඉස්කෝලෙට. ශිෂ්‍යත්වයෙන් සමත් වෙලා මම ගාල්ලේ රිපන් බාලිකාවටත් චරිත් රිච්මන්ඩ් එකටත් මාරු වුණා. එත් අපි දෙන්නා ගියේ එකම වෑන් එකේ. ඒ කාලේ වෑන් එකේ ඉන්න අයගේ අම්මලා තාත්තලා එහෙම අපේ සම්බන්ධෙ දැනගෙන දෙන්නගෙන් එක්කෙනෙක්ට වෑන් එකෙන් අයින් වෙන්න කිව්වා. පස්සේ මට වෑන් එකේ යන්න කියලා චරිත් බස් එකේ ඉස්කෝලෙට ගියා. ඒ කාලේ චරිත් මට දිපු ෆෝන් ඔක්කොම අපේ තාත්තා අරගත්තා. ඒ නිසා රහසේ තියා ගන්න පුළුවන් පෙම් හසුන් අපි පිටු ගණන් ලිව්වා. තොග ගණන් පෙම් හසුන් එකතුත් කළා…” යැයි ඈ මිහිරි අතීතය සිහි කරන්නේ බොහෝ ප්‍රබෝධයෙනි.
ශිෂ්‍යත්වයෙන් සමත්වී ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයට ගිය චරිත් ගැන ගාලු පුරවරයේ වයස් භේදයක් නැතිව කවුරුත් කතා කළේ හතර අතේ පහර දෙන නිසාය. ඒ ඔහු රිච්මන්ඩ් ක්‍රිකට් කණ්ඩායමේ දිදුලන ක්‍රිකට් තරුවකි. මේ කාලයේදී චරිත් අසලංකට පාසල් සිසුවියන්ගේ ඇල්ම බැල්මත් වැටෙන්නට පටන්ගෙන තිබුණි. චරිත්ගේ නම කාවින්දිකා අධ්‍යාපනය ලබන රිපන් බාලිකාවටත් ඇසෙන්නට විය. රිච්මන්ඩ් විදුහලත් රිපන් බාලිකාවත් ඇත්තේ සමීපයේය. රිපන් බාලිකාවට යා යුත්තේ රිච්මන්ඩ් විදුහල හරහාය. ඒ නිසා ශිෂ්‍යයාවෝ බොහෝ දෙනෙක් විපරම් කර බැලුවේ චරිත්ට පෙම්වතියක් සිටිනවද කියාය.
ඒ ගැන ඔවුන් කතා වනවිට චරිත් යනුවෙන් චරිතයක් තමා නොහඳුනන ගාණටම මිතුරියන් සමග හැසිරුණු බව කාවින්දිකා කියන්නීය. එත් මේ හොරා පොලිස් සෙල්ලමට වැඩි ආයුෂ තිබුණේ නැත. වැඩිකල් නොගොස් කාවින්දිකාගේ හොඳම මිතුරියෝ ඇයගේ පෙම්වතා කවුරුන්ද කියා දැන ගත්හ.
මෙලෙස දුරදිග ගියා ආදර අන්දරය විවාහ ගිවිස ගැනීමක් දක්වා යන විට එය රටේම ප්‍රධාන මාතෘකාව විය. ඒ වෙද්දී කාවින්දිට ගුරුවරියකගෙන් දුරකථන ඇමතුමක් ලැබුණි.
‘‘මට අද අපේ ඉස්කෝලේ නවය වසර පන්තියේ දී ඉගැන්වූ ටීචර් කතා කළා… එයා පුදුම වුණා අපි දෙන්නගේ විවාහ ගිවිස ගැනීම ගැන අහලා. ටීචර් මගෙන් ඇහුවා ඔයාලා දෙන්නා මොන කාලේද යාළු වුණේ කියල…” ඇය උත්තර දුන්නේ මිස්ගේ පන්තියේ දී ඉන්න කාලේදී කියලාය.
මේ ගැන කී විට ගුරුවරිය පුදුමයෙන් පුදුමයට පත්වූයේ කාවින්දිකා ඒකාලයේදී පන්තියේ සිටි හොඳම සිසුවියක් බව මතක් වීමෙනි.
පෙම්වතුන් ලෙස මුණ ගැසෙන පළමු දිනයේම කාවින්දිකා චරිත්ගෙන් විමසුවේ අනාගතයේදී කරන්නට බලාපොරොත්තු වෙන රස්සාව මොකක්ද කියාය. පාසල් යන සිසුවකු ලෙස ඔහු ඒ කාලෙත් කියා තිබුණේ තමන්නේ රස්සාව ක්‍රිකට් ක්‍රීඩාවේ නිරතවීම බවයි. එත් ඇය පුනපුනා ඔහුගෙන් ආසා සිටියේ ජීවිත කාලෙම ක්‍රිකට් ක්‍රීඩාවේ නිරතවන්න නොහැකි නිසා අනාගතයේදී කරන්නට බලාපොරොත්තු වන රැකියාවක් නැතිද කියාය. එත් ඒ අසන හැම පැනයකට චරිත් දුන් පිළිතුර වූයේ ‘ක්‍රිකට්’ ය.
චරිත් සාමාන්‍ය පෙළත් උසස් පෙළත් හොඳින්ම සමත් වූවෙකි. නමුත්, ඔහු සිය අනාගතය චිත්‍රයට නගා ගත්තේ ක්‍රිකට් පිත්තෙනි. ඒ නිසා එයට සහය වනවා මිස කාවින්දිකා ඔහුගේ බලාපොරොත්තුවලට නෝක්කාඩු කියනවාට වඩා ඒවාට ශක්තියක් විය.
‘‘අපේ ඉස්කෝල දෙක තියෙන්නේ ගාල්ල ටවුන් එකේ එක ළඟමයි. එහෙම තියලත් මම එයා සෙල්ලම් කරන මැච් එකක් බලන්න ගිහිල්ලා තියෙන්නේ එකම එක පාරක් විතරයි. ඒ එයා රිච්මන්ඩ් එකේ කැප්ටන් විදිහට සෙල්ලම් කරපු බිග් මැච් එක බලන්න විතරයි. සාමාන්‍යයෙන් මම වගේම අපේ ගෙදර අයත් ක්‍රිකට්වලට එච්චර ආස නැහැ. අඩුම තරමේ මගේ අයියාවත් මල්ලිවත් ක්‍රිකට් මැච් බලන්නේ නැහැ. එත් චරිත්ව ගෙදර අය හඳුන ගත්තට පස්සේ එයාලත් චරිත් සෙල්ලම් කරන හැම මැච් එකක්ම බැලුවා. දැන් මට වඩා එයාලා තමයි චරිත්ගේ හොඳම රසිකයෝ…” යැයි ඈ කියන්නීය.
චරිත් පාසලේදී ක්‍රිකට්වලට දස්කම් දක්වන්නා සේම කවින්දිකාත් මලල ක්‍රීඩාවට දස්කම් දක්වන්නියක් වූවාය. රිපන් විදුහලේ ක්‍රීඩා උත්සවය හැමදාමාත් පැවැත්වෙන්නේ රිච්මන්ඩ් පිටියේය. එවිට රිපන් සිසුවියන් බලන්නට රිච්මන්ඩ් සිසුවෝද හොරෙන් හොරෙන් ඒ පැත්තට යන්නෝය. එත් සිය පෙම්වතිය තරග කරන මලල ක්‍රීඩා ඉසව් නරඹන්නට නම් චරිත් ආවේ නැත. ඔහු එදිනට වෙනදාටත් කලින් පාසලෙන් පිටවී නිවසට යන්නේය. මේ ගැන කාවින්දිකා චරිත්ගෙන් ඈසූ විට ඔහු කීවේ, ”කොටට ඇඳගෙන දුවන ඒවා බලන්න මම එන්නේ නැහැ…” කියාය.
එතැන් පටන් ඈ දිවීම නැවතූවාය. ඒ වෙනුවට ඈ හොඳින්ම අධ්‍යාපනය ලැබුවාය. සාමාන්‍ය පෙළ විභාගයට ඒ සමර්ථ නවයක් ගෙන ඈ රිපන් බාලිකාවේ සිට උසස් පෙළට ගාල්ල සංඝමිත්තෙට මාරු විය. එහි දී උසස් අධ්‍යාපනය උසස් ලෙස සමත් වී පෞද්ගලික පාසලක ඉංග්‍රීසි ගුරුවරියක් ලෙස සේවයට බැඳුණාය. අද ඇය තමන් උගෙන ගත් දෙය තවත් දරුවන්ට දෙන්නට ඉංග්‍රීසි උපකාරක පන්ති පවත්වන්නීය.
අදටත් ඈ චරිත් ක්‍රීඩාකරන තරග නරඹන්නට එන්නේ කලාතුරකිනි. එත් චරිත් අසමත් වන සෑම තැනකම ඔහුට ශක්තියක් වෙමින් කාවින්දිත් ඔහුගේ පවුලේ අයත් ඔහු තනිනොකර ඔහුගේම ළඟින් සිටියහ. ඔවුන් දෙදෙනාගේ තහනම් වචනය වූයේ ‘ක්‍රිකට්‘ ය. ක්‍රිකට් පිටියේත් ප්රවෘත්ති විකාශනවලටත් රට වටෙනුත් ක්‍රිකට් ගැන ඕනෑ තරම් කතා ඇසෙන්නේය. එහෙයින් තවත් ක්‍රිකට් කතා ඔවුන් අතර නොවන තරමට ජීවිතය රහ වේයැයි ඔවුන් සිතන්නට ඇත.