චාමික කරුණාරත්න ජාතික කණ්ඩායමට ඇතුළත් නොවීම පිළිබඳ ලිඛිත වාර්තාවක් කැඳවන්න – ක්‍රීඩා ඇමති ගෙන් නියෝග

ByPasindu

Nov 23, 2022

පසුගිය ක්‍රිකට් තරඟාවලි දෙකකදීම තරඟාවලියේ වීරයා බවට පත්වී ඇති චාමික කරුණාරත්න ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම් වලදී දෙවන ස්ථානයේ පසුවන අවස්ථාවකදී ඔහු ජාතික කණ්ඩායමට තෝරා නොගැනීම පිළිබඳ ක්‍රිකට් තේරිම් කමිටුවෙන් ලිඛිතව විමසීමක් සිදු කරන ලෙස ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය ගරු රොෂාන් රණසිංහ මහතා ක්‍රීඩා අමාත්‍යාංශයේ නිලධාරීන් වෙත උපදෙස් ලබා දී තිබෙනවා.

ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩකයන් තෝරා ගැනීමේදී යම් ආගමික කල්ලියකට අයත් ක්‍රීඩකයන් පමණක් තෝරා ගන්නා බවට මතයක් පවතින බවත්, පසුගිය කාලය තුළ දස්කම් දැක්වූ ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්න ජාතික කණ්ඩායමට තෝරා නොගන්නේ උක්ත ආගමික මතවාදයට එකඟ නොවූ නිසා බවට රාවයක් පවතින බවද මන්ත්‍රීවරු පවසා තිබෙනවා.

මේ අදහස් පළ වූයේ ක්‍රීඩා හා යෞවන කටයුතු පිළිබඳ අමාත්‍යාශයීය උපදේශක කාරක සභාව එහි සභාපති ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය ගරු රොෂාන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (22) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීයි.

පසුගිය ‍ක්‍රිකට් ලෝක කුසලානයට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය සහිතව විදෙස්ගතවූ නිලධාරින් පිලිබඳ සොයා බැලිය යුතු බවට මෙහිදී අදහස් පළ වුණා.

සියළු පහසුකම් සහිතව දිනකට ඩොලර් 800ක වියදම් මුදලක් එක් අයෙකු වෙත ගෙවා ඇති අතර නිලධාරීන් නොවන පිරිස්ද ඉහත පහසුකම් යටතේ සංචාරයට සහභාගී වී ඇති බවද මන්ත්‍රීවරු සඳහන් කර තිබෙනවා.

එමෙන්ම, T20, T10 සහ LPL තරඟාවලි පැවැත්වීමේදී මුදල් භාවිතය සම්බන්ධව විධිමත් නියාමනයක් ක්‍රීඩා අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන් අවශ්‍ය බවද මන්ත්‍රිවරු මෙහිදී පෙන්වා දී තිබෙනවා.

ලංකාවේ ඇති එකම ජාත්‍යන්තර මට්ටමේ හොකී ක්‍රීඩා පිටියේ තණ තීරය නිසි පරිදි නඩත්තු නොවීම නිසා ප්‍රමිතිගත මට්ටමේ නොමැති බව මෙහිදි සාකච්ඡා වී තිබෙනවා.

එය නැවත සකස් කොට හොකී ක්‍රීඩාව වෙනුවෙන් පවත්වා ගැනීමේ අවශ්‍යතාවය පිලිබඳ මන්ත්‍රීවරු මෙහිදී අදහස් පළ කළ බව සඳහන්.

මෙහිදී නිලධාරින් සඳහන් කළේ 50% මූල්‍ය දායකත්වයක් ලංකාව විසින් දැරීමේ පදනම මත ආසියානු හොකී සම්මේලනය විසින් එය සංවර්ධනය කිරිමට එකඟවී ඇති බවයි.

එමෙන්ම, දියගම ක්‍රීඩාංගනයේ සින්තටික් ධාවන පථය අබලන්වී තිබිම සම්බන්ධවද මෙහිදී අදහස් පළ වූ අතර, ඒ හේතුවෙන් සුගතදාස ක්‍රිඩාංගනය හැරුණු කොට ක්‍රීඩකයන්ට පුහුණුවීම් සිදු කිරිමටවත් ධාවන පථයක් නොමැති බව මන්ත්‍රීවරු කියා තිබෙනවා.

මහරගම තරුණසේවා සභා ගෘහස්ථ ක්‍රිඩාගාරය නිසි පරිදි නඩත්තු නොවීම නිසා වර්ෂා සමයේදී තෙමීමට ලක්වීම නිසාවෙන් අබලන් වී ඇති බව මෙහිදී සාකච්ඡා වූ බව සඳහන්.