මේ මස 25 වැනිදා සිට ඇෆ්ගනිස්තානය සමගින් පැවැත්වීමට නියමිත තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා නම්කර ඇති ශ්‍රී ලංකා සංචිතයට ජෙෆ්රි වැන්ඩ්‍රසේ සහ චාමික කරුණාරත්නට අවස්ථාව හිමිවී නැති බව වාර්තා වේ.
මේ අතර නිමාවට පත් වූ ලෝක කුසලාන විස්සයි විස්ස තරගාවලියේදී ශ්‍රී ලංකා සංචිතයේ ස්ථාන අහිමිව සිටි දිනේෂ් චන්දිමාල්, දුනිත් වෙල්ලාලගේ සහ ධනංජය ලක්ෂාන් නැවත ශ්‍රී ලංකා සංචිතය වෙත කැඳවා තිබේ.
එක්දින තරග තුනකට පමණක් සීමාවන අදාළ තරගාවලියේ සියලු තරග මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. තරගාවලියට අයත් දෙවැනි සහ තෙවැනි තරග පිළිවෙළින් මේ මස 27 වැනිදා සහ 30 වැනිදා පැවැත්වීමට නියමිතය.
ඇෆ්ගනිස්තාන කණ්ඩායමක් එක්දින ක්‍රිකට් තරගාවලියක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ ප්‍රථම වතාවටය. මීට පෙර ඔවුන් එක්දින ක්‍රිකට් පිටියේදී එකිනෙකා හමුවී ඇත්තේ 2014, 2018 වර්ෂයන්හි පැවැති ආසියානු ක්‍රිකට් තරගාවලියේදී සහ 2015, 2019 වර්ෂයන්හි පැවැති ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී පමණි.
අදාළ අවස්ථා හතරින් ශ්‍රී ලංකා කණ්ඩායම තරග තුනක් ජයගන්නා අතරවාරයේදී ඇෆ්ගනිස්තානයට ජයගත හැකිව ඇත්තේ එක් තරගයක් පමණි.
තරගාවලිය සඳහා නම්කර ඇතැයි සඳහන් ශ්‍රී ලංකා සංචිතය
දසුන් ශානක (නායක), චරිත් අසලංක, පැතුම් නිශ්ශංක, කුසල් මෙන්ඩිස්, ධනංජය ද සිල්වා, භානුක රාජපක්ෂ, ධනංජය ලක්ෂාන්, දිනේෂ් චන්දිමාල්, දුනිත් වෙල්ලාලගේ, අශේන් බණ්ඩාර, වනිඳු හසරංග, මහීෂ් තීක්ෂණ, කසුන් රාජිත, ප්‍රමෝද් මධුෂාන්, අසිත ප්‍රනාන්දු, ළහිරු කුමාර
ගයාශාන් විතානආරච්චි