යූ ටියුබ් වීඩියෝ බලා ලංකාවේ තරුණයෙක් ස්නයිෆර් තුවක්කුවක් හදලා

ByPasindu

Dec 1, 2022

ස්නයිෆර් තුවක්කුවකට සමාන ගිනි අවියක් නිර්මාණය කළ 28 හැවිරිදි පුද්ගලයකු වාද්දුව පොලිසිය විසින් ඊයේ (30 වැනිදා) අත්අඩංගුවට ගෙන තිබේ.

වාද්දුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චමින්ද කුමාර වෙත ලැබුණු තොරතුරකට අනුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වාද්දුව, තල්පිටිය ප්‍රදේශයේ පදිංචි අයෙකි. ඔහු මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිවී පුනරුත්ථාපනය ලබා පැමිණි තරුණයෙකි.

යූ ටියුබ් වීඩීයෝ නැරඹීමෙන් සහ පුනරුත්ථාපන කඳවුරේ රැඳවියන්ගෙන් ලද උපදෙස් අනුව ඔහු මෙම අවිය නිපදවා තිබේ.

ඉවතලන ප්ලාස්ටික් කොටස්, සුදු යකඩ කොටස්, ස්ප්‍රීන්, යකඩ සහ ඇලුමිනියම් බට යොදාගනිමින් දුරදක්නයක් ද සවිකර ස්නයිෆර් අවියකට සමාන ලෙස එම අවිය නිර්මාණය කර තිබේ. වෙඩි ශබ්දය නොඇසෙන පරිදි ඊට අවැසි උණ්ඩ සකසා ඇත්තේ බයිසිකල් යකඩ බෝල යොදාගනිමිනි.

මෙම ගිනි අවිය අත්හදා බැලීමට බළලුන්ට, සුනඛයන්ට සහ කුරුල්ලන්ට වෙඩිතබා ඇති බවත්, ඉන් එම සතුන් මියගොස් තිබෙන බවත් සැකකරුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත. සැකකරු සහ ගිනි අවිය පානදුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

එෆ්. අස්ලම්