අලුත් පාසලට ගිය සිසුවාට දැඩිසත්කාරේ ඉන්නම නවක වදය දීලා.

ByPasindu

Jan 25, 2023

ජ්‍යෙෂ්ඨ සිසුන්ට රුපියල් විස්සක් නොදුන් නිසා කළුතර මහා විද්‍යාලයේ සිසුන්ගේ පහර කෑමට ලක්වූ උසස් පෙළ නවක සිසුවකු ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කර ඇත. කළුතර ප්‍රදේශයේ පදිංචි නිම්න රන්මාල් නමැති 17 හැවිරිදි සිසුවකු පසුගිය 16 වැනිදා මෙලෙස පහර කෑමට ලක්වී ඇත.

ක්‍රීඩා පුහුණුවීම් සඳහා පන්තියෙන් බැහැර සිටියදී ජ්‍යෙෂ්ඨ සිසුන් පිරිසක් පැමිණ පහරකෑමට ලක්වූ සිසුවාගෙන් රුපියල් 20 ක් ඉල්ලා ඇත. මුදල් නොමැති බව පැවැසීමෙන් අනතුරුව එම සිසුන් මෙම සිසුවාට පහර දී ඇති බව එම දරුවාගේ පියා වන නාමල් ජයරත්න පවසයි.

පාසලට පැමිණෙන ලෙස හදිසියේ තමාට ලද දුරකථන ඇමතුමක් මත ගිය අවස්ථාවේ දරුවාගේ ඇස ප්‍රදේශය ඉදිමී තිබූ බවත්, මුහුණ විරූපීව තිබුණු බවත් ඔහු වැඩිදුරටත් පවසයි. කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කළ දරුවාගේ මුහුණ ප්‍රදේශයට මැහුම් කිහිපයක් දැමූ බවත්, කටින් ලේ ගලා යන්නේ තැළීම නිසා බව රෝහලෙන් පවසා තිබේ.

රෝහලේ සිට නිවසට පැමිණියද නාසයෙන්, කටින් ලේ වහනයවීම අධික වූ නිසා දෙමව්පියන් විසින් සිසුවා ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කර ඇත. එම දරුවාගේ තත්ත්වය රෝහල් බලධාරීන්ගෙන් විමසූ අවස්ථාවේ ප්‍රකාශ කළේ දරුවා ශල්‍යකර්මයකට භාජනය කර ස්නායු ශල්‍ය වෛද්‍ය ඒකකයට යොමු කළ බවයි.

දරුවා කළුතර නාගොඩ රෝහල්ගතව සිටින අවස්ථාවේදී එහි පැමිණි විදුහලේ ආදි ශිෂ්‍ය සංගමයේ කිහිප දෙනකු හා රෝහලේ හෙදියන්ද මෙම සිදුවීම සමාදාන වන ලෙස පැවැසූ බව එම දරුවාගේ පියා මාධ්‍යයට කරුණු හෙළි කළේය.

පහර දුන් බව කියන දරුවන් තිදෙනකු ක්‍රිකට් ක්‍රීඩාවට දක්ෂ නිසා ඔවුන් කොළඹ පාසල්වලට ඇතුළත් කළ හැකි බැවින් ආරවුල දිගට ගෙන නොයන ලෙසට එම ආදි සිසුන් පැවැසූ බව පහරකෑමට ලක්වූ සිසුවාගේ පියා වැඩිදුරටත් පැවැසීය.

මේ සම්බන්ධයෙන් කළුතර මහා විද්‍යාලයේ විදුහල්පති හර්ෂණ පීරිස්ගෙන් විමසූ අවස්ථාවේදී ප්‍රකාශ කළේ චෝදනාවට ලක්වූ සිසුන් හඳුනාගෙන තිබෙන බවය. ඔවුන්ගේ පන්ති තහනම් කර අභ්‍යන්තර විමර්ශනයක් ආරම්භ කළ බවද ඔහු කීය. එසේම මෙවැනි සිදුවීම් පාසලේ මීට පෙර කිසිදු විටක ඇති නොවුණ බවද විදුහල්පතිවරයා පැවැසීය. පහරදීම ගැන ලද පැමිණිල්ලකට අනුව කළුතර දකුණ පොලිසිය සැකකාර සිසුන් තිදෙනකු අත්අඩංගුවට ගෙන ඇත.