5000 එපා..අපි සටන දිගටම ගෙනියනවා

121

ගුරු හා විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතා ලබන වසරේ (2022) අයවැයෙන් ඉවත් කරන තෙක් සැප්තැම්බර් සහ ඔක්තෝබර් මාස වෙනුවෙන් රුපියල් පන්දහසක් ලබා දීමේ කැබිනට් මණ්ඩල යෝජනාව ප්‍රතික්ෂේප කළ ගුරු හා විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය සිය වෘත්තීය ක්‍රියාමාර්ග අඛණ්ඩව ඉදිරියට ගෙන යාමට ඊයේ (31 වැනිදා) තීරණය කළේය.

රුපියල් පන්දහසකට තමන්ගේ සටන ලඝු නොකරන බව සමස්ත ලංකා එක්සත් ගුරු සංගමයේ සභාපති යල්වෙල පඤ්ඤාසේකර හිමියෝ පැවසුහ. උන්වහන්සේ මේ බව සඳහන් කළේ රජයේ යෝජනාවට ප්‍රතිචාර දැක්වීම සඳහා කොළඹ ගුරු මැදුර ශාලාවේ කැඳවා තිබූ මාධ්‍ය හමුවේ දී ය.

ආණ්ඩුව ඉදිරිපත් කර ඇති යෝජනාව වෘත්තීය සමිති අරගලය මොට කිරීම සඳහා කළ යෝජනාවක් බවත් සුබෝධිනි කමිටු නිර්දේශවලින් පිට වෙනත් කිසිදු යෝජනාවකට එකඟ නොවන බවත් කී එහිමියෝ එම යෝජනාවේ සුබෝධිනි කමිටු නිර්දේශ සම්බන්ධයෙන් කිසිවක් සඳහන්ව නැතැයි ද වැටුප් විෂමතා ඉවත් කිරීමට අදාළ චක්‍රලේඛය නිකුත් කරන තෙක් වෘත්තීය ක්‍රියාමාර්ග අත්නොහරින බව ද ප්‍රකාශ කළේය.

ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින්,ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ,ශ්‍රී ලංකා ජාතික විදුහල්පති සංගමයේ ප්‍රධාන ලේකම් මොහාන් වීරසිංහ,ඒකාබද්ධ ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් සංජීව බණ්ඩාර ද අදහස් දැක්වූහ.