2023 ක්‍රිකට් ලෝක කුසලානයට පාර කියමින් ඇරඹෙන”ICC Men’s Cricket World Cup Super League – 2020–22″

1443

2023 වසරේ ඉන්දියාවේ පැවැත්වෙන ICC පන්දුවාර 50 පිරිමි ක්‍රිකට් ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලැබීමේ තරගාවලියක් ලෙස පවත්වනු ලබන ‘2020–22 ICC Men’s Cricket World Cup Super League’ තරගාවලිය ජූලි 30 ඇරැඹෙන තරග 3 කින් යුතු එංගලන්ත – අයර්ලන්ත එක්දින තරගාවලියෙන් ඇරඹෙන බව ICC ය මඟින් නිවේදනය කොට ඇත.

ඉන්දියාව,ශ්‍රී ලංකාව,පාකිස්තානය,බංග්ලාදේශය,ඇෆ්ගනිස්තානය,ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, බටහිර ඉන්දීය කොදෙව් දේශය, දකුණු අප්‍රිකාව, අයර්ලන්තය,සිම්බාබ්වේ යන ICC හි පූර්ණ සාමාජික රටවල් 12 සහ 2015–17 ICC World Cricket League Championship තරගාවලියේ ශූරතාවය හිමිකරගත් නෙදර්ලන්තය ඇතුළුව රටවල් 13 ක් මෙම 2020–22 ICC Cricket World Cup Super League සඳහා තරඟ වදී.

2020 ජූලි 30 වැනිදා සිට 2022 මාර්තු 31 වැනිදා පැවැත්වෙන මෙම ICC Men’s Cricket World Cup Super League සඳහා සහභාගී වන සෑම රටකටම තරගාවලිය තුළ සිටින තවත් රටවල් 8 ක් සමඟ එක්දින තරඟ 3 බැගින් යුතු තරගාවලි ක්‍රීඩා කිරීමට අවස්ථාව ලැබෙන අතර ඉන් තරගාවලි 4 ක් සත්කාරක (Home) ලෙසද අනෙකුත් තරගාවලි 4 සංචාර (Away) ලෙසද ක්‍රීඩා කිරීමට සිදු වේ.

මෙලෙස පැවැත්වෙන සෑම තරගාවලියකම එක් තරගයක් සඳහා Points 10 බැගින් ජයග්‍රාහක කණ්ඩායමටද, පරාජිත කණ්ඩායමට Points 0 බැගින්ද ලැබෙන අතර Draw හෝ Tie යන අවස්ථාවන්හි නිමවන තරග සඳහා කණ්ඩායම් 2 ටම Points 5 බැගින් හිමි වේ.
ඒ අනුව තරගාවලියේ තමාට හිමි එක්දින තරග 3 කින් යුතු තරගාවලි 8 හිම සෑම තරගයක්ම ජය ගන්නා කණ්ඩායමකට තරගාවලිය අවසානයේ Points 240 ක් ((10×3)×8) ක් ලබාගත හැකිය.

ඒ අනුව 2022 මාර්තු 31 වැනිදා ICC Men’s Cricket World Cup Super League තරගාවලිය නිමාවන විට Points Table හි මුල් ස්ථාන 8 හි (සත්කාරක ඉන්දියාව සමඟ) පසුවන කණ්ඩායම් අට 2023 ICC Men’s Cricket World Cup තරගාවලිය සඳහා සෘජුව සුදුසුකම් ලබන අතර Points Table හි අවසන් ස්ථාන 5 හි පසුවන කණ්ඩායම් පහ තවත් Associate Nation කණ්ඩායම් 5 ක් සමඟ 2023 ICC Men’s Cricket World Cup Qualifier තරගාවලිය සඳහා ක්‍රීඩා කර 2023 ICC Men’s Cricket World Cup තරගාවලියේ ඉතුරු අවසන් ස්ථාන 2 සඳහා සුදුසුකම් ලබාගත යුතුය.

මෙම ICC Men’s Cricket World Cup Super League තරගාවලිය සඳහාම සුවිශේෂී වන නව නීති 2 ක් ද ICC ය විසින් හඳුන්වා දී ඇති අතර එක් කණ්ඩායමකට තරගයක එක් ඉනිමක් තුළ විනිසුරුගේ තීරණය අභියෝගයට ලක් කළ හැකි DRS අවස්ථා 2 ක් ලබා දීම සහ Front Leg (පෙර පාදය) No ball තීරණය කිරීමේ බලය TV Umpire හට ලබාදීම යනු එම එම නව සුවිශේෂී නීති වේ.

ICC Men’s Cricket World Cup Super League සඳහා ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම ගත් විට ඔවුන් මෙම තරගාවලිය තුළ ශ්‍රී ලංකාවේදී ඉන්දියාව,දකුණු අප්‍රිකාව,සිම්බාබ්වේ සහ ඇෆ්ගනිස්තානය යන රටවල් 4 සමඟද,ශ්‍රී ලංකාවෙන් පිට සංචාර ලෙස එංගලන්තය,සිම්බාබ්වේ, බටහිර ඉන්දීය කොදෙව් දේශය සහ නවසීලන්තය යන රටවල් 4 සමඟද තරග 3 කින් සමන්විත එක්දින තරගාවලි ක්‍රීඩා කළ යුතුව ඇත.

මින් ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන දකුණු අප්‍රිකා,ඉන්දියා,සිම්බාබ්වේ සහ බංග්ලාදේශ තරගාවලි 2020 වසරේද එංගලන්ත,නවසීලන්ත,බටහිර ඉන්දීය කොදෙව් සහ ඇෆ්ගනිස්තාන තරගාවලි 2021 වසරේද පැවැත්වීමට 2018-2023 ICC FTP තර‍ඟ කාලසටහනින් තීරණය වී තිබුණද Covid – 19 වසංගතය හේතුවෙන් දින වකවානු ස්ථිර ලෙසම ප්‍රකාශයට පත්කිරීමට නොහැකිව ඇත.

කෙසේ වෙතත් මෙම 2020 ජූලි 30 වැනිදා සිට 2022 මාර්තු 31 කාල සීමාව තුළ මෙම තරගාවලියට වලංගු එක්දින තරගාවලිවලට අමතරව ඊට වලංගු නොවන වෙනත් එක්දින තරගාවලි පැවැත්වීමට තරගාවලියට තරඟ වදින රටවලට අවසර ඇති බවද ICC විසින් නිවේදනය කොට ඇත.
FM & TV Sri Lanka