හෙද සංගම් ආරම්භ කර ඇති වැඩවර්ජනය දෙවන දිනටත්… රෝගීන් අනාථ වෙයි..

215

රජයේ හෙද නිලධාරින් කාලයක් තිස්සේ මුහුණ පා ඇති ගැටලුවලට විසඳුම් ලබාදීමට බලධාරින් කටයුතු නොකිරීම හේතු කරගනිමින් දිවයිනේ රෝහල් හා සෞඛ්‍ය ආයතනවල හෙද කාර්ය මණ්ඩලය ඊයේ උදෑසන 07ට අසනීප නිවාඩු වාර්තා කිරීමේ පැය 48ක වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කළා.

ඔවුන්ගේ ශ්‍රේණිගත උසස්වීම් සාධාරණව ලබාදීම, දින පහක සේවාකාලයක් හා මාණ්ඩලික සේවා තත්ත්වය නැවත ස්ථාපිත කිරීම ඇතුලු ඉල්ලීම් 07ක් ඔවුන්ගේ ඉල්ලීම් අතර වුණා.

රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය,සමස්ත ලංකා හෙද සංගමය සහ රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය මෙම වර්ජනයට එක්ව සිටිනවා.

දෙවන දිනටත් අද වර්ජනය ක්‍රියාත්මක වුවද වෘත්තීය සමිති පැවසුවේ, වැඩ වර්ජනය පැවතුනද හදිසි සහ අත්‍යවශ්‍ය සේවා සඳහා හෙද නිලධාරින් අනුයුක්ත කළ බවයි.

රජයේ හෙද නිලධාරින් ආරම්භ කර ඇති මෙම වැඩ වර්ජනය හේතුවෙන් දිවයිනේ රෝහල් බොහොමයක සායනික සහ සෞඛ්‍ය කටයුතු අද උදෑසන සිට අඩාලව පැවතුණා.

කොරෝනා ප්‍රතිකාර සිදුකරන සහ අත්‍යවශ්‍ය රෝහල් කිහිපයක හැර කොළඹ ජාතික රෝහල ඇතුළු රෝහල් රැසක වර්ජනය ක්‍රියාත්මක කරන බව පැවසුව ද,කොරෝනා ප්‍රතිකාර රෝහල්වලට ද වර්ජනය හේතුවෙන් බලපෑම් එල්ල වී තිබෙනවා.

මේ අතර,මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඊයේ සිය විරෝධය පළකළ අතර,ඇතැම් රෝහල්වල හෙද නිලධාරීන් නොමැතිවීම හේතුවෙන් වෛද්‍යවරුන් ඔවුන්ගේ සේවාවන් සිදුකරන අයුරු දක්නට ලැබුණා.

කොළඹ ජාතික රෝහලට පැමිණි රෝගීන් සහ කොළඹ අක්‍ෂි රෝහලට පැමිණි රෝගීන් ද අපහසුතාවට පත්ව සිටි ආකාරයයි.