හුමාලය ඇල්ලීමෙන් වෛරසයෙන් බේරී සිටිය හැකි බව ආයුර්වේද වෛද්‍යවරු කියයි !

141

කොඩිඩ් -19 වෛරසය ආසාදනයෙන් ආරක්ෂා වීම සඳහා අනුගමනය කළ යුතු සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද කෙරෙහි වැඩි අවධානයක් මේ වන විට ජනතාව තුළ පවතියි.මේ පසුබිම තුළ ආයුර්වේද පර්යේෂණ ආයතනය මෙන්ම ආයුර්වේද වෛද්‍යවරු පෙන්වා දෙන්නේ ඖෂධීය ශාක පත්‍ර යොදාගෙන හුමාලය ඇල්ලීම තුළින් වෛරසය ආසාදනයෙන් වැළකීමේ හැකියාවක් පවතින බවයි.

කොවිඩ් 19 වෛරසයේ ව්‍යාප්තියත් සමඟ ඉන් ආරක්ෂා වීමට සහ ප්‍රතිශක්තිය වර්ධනය කර ගැනීම සඳහා ජනතාව මේ වන විට විවිධ ක්‍රියාමාර්ග ගනිමින් සිටියි.

වෛරසය ආසාදනය අවම කරගැනීම සඳහා ඖෂධීය ශාක පත්‍ර යොදාගෙන හුමාලය ඇල්ලීම සුදුසු බවට කොවිඩ් 19 සඳහා වන පර්යේෂණ කමිටුව ද තීරණය කර තිබුණේ ඒ අතරතුරයි.

“ආයුර්වේද පර්යේෂණ ආයතනය පවසන පරිදි ආඩතෝඩා,නික, හීන් මදුරුතලා,බෙලි,කුරුඳු සහ පැඟිරි කුලයේ ශාක පත්‍ර මේ සඳහා යොදාගත හැකියි.එමෙන්ම කොත්තමල්ලි, සහ අමුකහද මේ සඳහා යොදාගත ඇකි බව ආයුර්වේද වෛද්‍යවරුන්ගේ අදහසයි.”

ආයුර්වේද වෛද්‍ය පශ්චාත් උපාධි ආයතනයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සේනක පිලපිටිය මහතා පවසා සිටියේ, කොත්තමල්ලිවල ප්‍රතිශක්තිකරණය තීව්‍ර කළ හැකි ගුණයක් ඇති බවයි.

මේ අතර දෙහි කොළ විෂබීජ නාශකයක් වන බවත් පැවසු ඒ මහතා, ආඩතෝඩාවල පෙනහළු සඳහා ගුණදායක ගුණයක් ඇති බවත් පැවසීය.

මේ අතර එහි වෛරසයවලට විරුද්ධ සංඝටක ‍ඇතුළත් බවත් පැවසු අධ්‍යක්ෂවරයා, එයින් ශ්වසන මාර්ගයේ යහපත් වෙනස්කම් ඇති වෙන බවත් කියා සිටි‍යේය.

වෛරසය අසාදනයෙන් ආරක්ෂා වීම සහ ප්‍රතිශක්තිය වර්ධනය කිරීම සඳහා ඖෂධීය ශාකපත්‍ර යොදාගෙන නිසි පරිදි හුමාලය ඇල්ලීම සිදුකළ යුත්තේ කෙසේද?

ආයුර්වේද පර්යේෂණ ආයතනයේ වෛද්‍ය රේණුකා පීරිස් මහත්මිය පවසා සිටියේ, වතුර හැලියක් ලිපේ තබා හුමාලය පිටවන තෙක් රත් කළ යුතු බවයි.

වතුර රත්වී වාෂ්ප පැමිණීම ආරම්භ වු විට පිරිසිදු කර ගත් ශාක පත්‍ර ලිපේ තැබු ‍භාජනයට දමා ගන්නා බවත් ඇය පැවසීය.

ඇස් විවෘත කර ගනිමින් දුම් ඇල්ලීම සිදු නොකළ යුතු බවත් පැවසු ‍වෛද්‍යවරිය, හිසත් භාජනයත් රෙදි කඩකින් ආවරණය කර ගනිමින් දුම් ඇල්ලීම සිදු කළ යුතු බවත් කියා සිටියාය.

මේ අතර දුම නාසයෙන් ආඝ්‍රහණය කර මුඛයෙන් පිට කරන බවත් පැවසු වෛද්‍යවරිය, මෙම ක්‍රියාවලිය නළලට දහඩිය දමන තෙක් මෙය දිනකට කීපවරක් සිදු කළ යුතු බවත් පැවසීය.

සිය ආරක්ෂාව සඳහා මෙවැනි කමවේද භාවිත කළත් කොවිඩ් 19 යැයි සැක කෙරෙන රෝගී ලක්ෂණ මතුවුවහොත් කඩිනමින් සෞඛ්‍ය අංශ දැනුවත් කළ යුතු බව විශේෂඥයින් පෙන්වා දෙයි.

ඖෂධවේදය පිළිබඳ මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසා සිටියේ, මේ වන විට හිතුමතේ ඖෂධ භාවිතා කළ පුද්ගලයින් ගැන වාර්තා වී ඇති බවයි.

එයින් විවිධ ආසාත්මිකතා ඇති විය හැකි බවත් ඒ මහතා පැවසීය.