සේරුවාවිල රත්රන් නිධිය ඇත්තක්ද?

180

සේරුවාවිල ප්‍රදේශයේ ආර්ථික වටිනාකමක් සහිත රත්රන් නිධියක් හමු වී තිබෙන බව මේ දිනවල කතාබහට ලක්වන මාතෘකාවකි. මෙම රත්රන් නිධිය සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේදීද යම් යම් කතාබස් ඇතිවුණු අතර,සැබැවින්ම සේරුවාවිල මෙම භූමියේ රත්රන් නිධියක් තිබෙනවාද යන්න පිළිබඳව අප පාර්ශ්ව කිහිපයකින් අදහස් විමසීමු.

භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශයේ හිටපු සභාපති,මොරටුව විශ්වවිද්‍යාලයේ ආචාර්ය කිත්සිරි දිසානායක මහතා,

“කර්මාන්තයක් විදිහට පටන් ගන්නවා නම් සම්පූර්ණ භූමි ප්‍රදේශයේම කැණීම් කරලා කොපමණ ප්‍රමාණයක් තිබෙනවාද කියලා නිර්ණය කරගන්න”

“අපිත් සේරුවාවිල ඔය නිධිය ළඟට ගිහින් සාම්පල රැගෙන විත් පර්යේෂණ කළා. එහිදී ඇත්තටම ඔතැන අපට හමුවුණේ කැල්කොපයිරේට්ස් (CuFeS2). කැල්කොපයිරේට්ස් වල තියෙන්නේ තඹයි,යකඩයි.මම පර්යේෂණ කළේ භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සේවය කරන කාලයේදී.ඒ පර්යේෂණ සඳහා නියැදි ලබාගත්තේ භූ විද්‍යා එක කැණීම් කරලා එකතු කරගත් සාම්පල් සහ කැණීම් කරද්දි ඒ භූමියේ තැන් තැන්වලට විසි කළ පාෂාණ කැබලිවලින්. ඒ වගේම මේ ප්‍රදේශයේ තැන් තැන්වල තිබෙන වගා ළිං වලිනුත් කොටස් ලබාගත්තා. ඒවා විශ්ලේෂණය කරද්දි රත්රන් යම් ප්‍රමාණයක් තිබෙන බවට අපි හොයාගත්තා මෙතැනදි අපට කිසිදු ගැටලුවක් නැතිව තඹ නම් ඒ විදිහට නිස්සාරණය කරගන්න පුළුවන්.පර්යේෂණවලදී විශ්ලේෂණය කරද්දි රත්රන් යම් ප්‍රමාණයක් තිබෙනවා කියලා අපි තහවුරු කරගත්තනේ. සාමාන්‍යයෙන් ඇළක දොළක වගේ ජලය ගලන තැනක පස් ඇතුළෙත් පෙනෙන නොපෙනෙන තරමට රත්රන් හමුවෙනවා.එහෙම හමු වුණා කියලා ඒකට වාණිජමය වටිනාකමක් ගේන්න බැහැ මෙතැන කොපමණ රත්රන් ප්‍රමාණයක් තිබෙනවාද කියලා කවුරුත් හොයාගෙන නැහැනේ.කර්මාන්තයක් විදිහට පටන් ගන්නවා නම් මුලින්ම ඔය කියන වර්ග කිලෝමීටර් 54 තුළ රත්රන් කොච්චර තිබෙනවාද කියලා නිර්ණය කරගන්න ඕනේ. ඇත්තටම මම දන්න විදිහට මෙතැන වැඩි වශයෙන් හමුවන්නේ තඹ සහ යකඩ.

දැනට ලෝකය භාවිත කරන්නේ පාෂාණ ටොන් එකක රත්රන් ග්‍රෑම් තුනක් තිබෙනවා නම් ලාභදායී කර්මාන්තයක් කරගෙන යන්න පුළුවන් කියන කාරණයයි. මේ සේරුවාවිල භූමියේ ටොන් එකක ග්‍රෑම් 4-5ක් වගේ ප්‍රමාණයක් තිබෙනවා කියලනේ කියන්නේ. එහෙනම් අපිට රත්රන් කර්මාන්තයක් විදිහට කරගෙන යන්න පුළුවන්. හැබැයි එක් තැනකින් ගත් කොටසකින් පර්යේෂණ කරලා විතරක් ග්‍රෑම් 4ක් තිබෙනවා කියලා කියන එක වැරදියි. එහෙනම් මේ මුළු වර්ග කිලෝමීටර් 54ම ආවරණය වන පරිදි පර්යේෂණ කරන්න ඕනේ. අනෙක් කාරණය තමයි මේ සම්පත තිබෙන්නේ පොළොව යට. සමහර තැන් මීටර් 100ට වඩා යට වෙන්න පුළුවන්. එහෙම සම්පූර්ණ භූමි ප්‍රදේශයම ආවරණය කරලා මුළු ප්‍රදේශයේම රත්රන් කොච්චර තිබෙනවාද කියලා හොයාගත්තාට පස්සෙ පුළුවන් ඒවා කැණීම් කරලා ලබාගන්න කොපමණ මුදලක් වැය වෙනවාද කියලා තීරණය කරන්න. සාමාන්‍යයෙන් ඒ වගේ වැඩක් සඳහා අති විශාල මුදලක් යනවා. මම හිතන්නේ නැහැ ඒ තාක්ෂණය භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයට අමතරව ලංකාවේ තවත් ආයතනවලට තිබෙනවා කියලා. ඒ තාක්ෂණය භූ විද්‍යා එකට තිබුණත්, මම දන්න විදිහට ඔවුන්ට ඒ සඳහා වියදම් කිරීමට තරම් ප්‍රමාණවත් මුදලක් නැහැ. කවුරුන් හෝ ඉදිරිපත් වෙලා ඒ වැඩේ කරනවා නම් ඒක ඉතා හොඳ වැඩක්. අවම වශයෙන් රත්රන් තියෙනවාද නැද්ද කියලා හරි දැනගන්න පුළුවන් වෙනවනේ.

කැණීම් කරන්න විවිධ ක්‍රම තිබෙනවා. අපට මතුපිටින් පොළව හාරගෙන ගිහිල්ලා ලබාගන්න පුළුවන්. එහෙම නැත්නම් වෙනත් තැනක් හාරගෙන එතැනට යන්න පුළුවන්. එහෙමත් නැත්නම් උඩ ඉඳලා කෙමිකල් දාලා ගල්වල තිබෙන රත්රන් දිය කරලා ගන්නත් පුළුවන්. මේවා ලෝකයේ රත්රන් කර්මාන්තයක් ලෙස කරගෙන යන රටවල තිබෙන තාක්ෂණික ක්‍රම. නමුත් මම හිතන්නේ නැහැ මේ භූමියේ ඒ විදිහට ගන්න පුළුවන් ප්‍රමාණයේ රත්රන් තිබෙනවා කියලා. භූ විද්‍යා එකේ තිබෙනවා මේ සම්බන්ධව සිදුකරපු පර්යේෂණ වාර්තා. ඕනෑම අයෙකුට ඒවා බලන්න පුළුවන්. නමුත් අද රත්රන් කර්මාන්තයක් ආරම්භ කරනවා නම් ඒ වාර්තාවවත් ප්‍රමාණවත් නැහැ.

මම ලෝහ නිස්සාරණය ගැන ආචාර්ය උපාධියට ඉගෙන ගත් අයෙක්. ඒ නිසා නිස්සාරණය කිරීමේ සහයෝගය අපිට දෙන්න පුළුවන්. දැනට ලෝහවලට හොයාගත් නිස්සාරණ ක්‍රම කිහිපයක්ම තිබෙනවා. ඒ ක්‍රමවේදයන් භාවිත කරලා මේ කියන ප්‍රමාණය උකහා ගන්න එක ලාභදායීද නැද්ද කියන එක කල්පනා කරන්න ඕනේ. රත්රන් අනෙක් ලෝහ සමග වෙන් කර ගැනීමේදී යම් යම් ගැටලු ඇතිවෙනවා. නමුත් ඒවා ගැන එතරම් තකන්න ඕන නැහැ. මොකද ඒවා අපට විසඳගන්න පුළුවන්. ඒ තාක්ෂණය අපට නොමිලේ හරි දෙන්න පුළුවන්. ඇත්තටම මේක සඵලදායී කියල කියන්න පුළුවන් වන්නේ මුළු භූමි ප්‍රමාණයම ආවරණය කරලා ගවේෂණය කළොත් විතරයි. එහෙම නැතිව එක් තැනක් පමණක් ගවේෂණය කරලා කියන්න හොඳ දෙයක් නෙවෙයි. එයින් ජනතාව මුළා වෙන්නත් පුළුවන්.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූගර්භ විද්‍යා අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතා,

මේ වගේම ලංකාවේ තවත් ස්ථාන පහක රත්රන් තිබෙනවා

&සේරුවාවිල වාණිජමය ආකාරයට රත්රන් තිබෙනවා කියලා මුලින්ම හොයා ගත්තේ මමයි. සේරුවාවිල පැත්තේ 1971 කාලයේ ඉඳලාම විවිධ ගවේෂණයන් සිදුකළා. ඒ කාලෙදී භූ විද්‍යා දෙපාර්තමේන්තුව තමයි ඒ ගවේෂණයන් සිදුකළේ. අද ඒ ආයතනය තමයි භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය කියලා වෙනස් වෙලා තිබෙන්නේ. ඇත්තටම ඔය ප්‍රදේශයේ මොනවද තිබෙන්නේ කියලා දැනගන්න ප්‍රංශ රජයේ ආධාර ඇතිව තමයි ඔවුන් ඒ ගවේෂණයන් සිදුකළේ. භූ විද්‍යා එක කලින් හොයාගෙන තිබුණා එම ප්‍රදේශයේ යකඩ නිධියක් තිබෙනවා කියලා. එතකොට එයාලා හොයාගත්තා යකඩ වලට අමතරව තඹත් තිබෙනවා කියලා. නමුත් තඹ කර්මාන්තයක් විදිහට කරගෙන යන්න තරම් ප්‍රමාණයක් නැහැ කියලා ඔවුන් ඒ ගවේෂණය අත්හැර දැමුවා. ඊට පස්සේ භූ විද්‍යාඥයෝ නොයෙක් වර ඔය ප්‍රදේශයේ පාෂාණ අරගෙන විවිධ පර්යේෂණ සිදුකළා. මොකද ඒ පාෂාණවල භූ විද්‍යාඥයෝ පමණක් දකින විශේෂත්වයක් තිබෙනවා. ඒ පර්යේෂණවල තිබෙන දත්ත අරගෙන මම පසු කාලෙක ටිකක් අලුත් විදිහකට අධ්‍යයනය කළා. එහිදී මට තේරුණා ලෝකයේ වෙනත් රටවල රත්රන් තිබෙන තැන්වල ස්වරූපයම මේ සේරුවාවිල භූමි ප්‍රදේශයෙත් තිබෙනවා කියලා.

ඊට පස්සේ අපි 2018-2019 කාලයේදී අලුත් විදිහකට මේක ගවේෂණය කරන්න පටන් ගත්තා. එහිදී පොළොව ඇතුළට කැණීම් කරන්න (drilling) සිදුවුණා. ඒකට අවශ්‍ය අවසරපත්‍රය භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයෙන් අපි ලබාගත්තා. මේ සඳහා අවශ්‍ය මූල්‍ය අනුග්‍රහය පෞද්ගලික අංශයේ ව්‍යාපාරික සමාගමක් ලබාදුන්නා. මිලියන තිහක් හතළිහක් අතර මුදලක් ඒ සඳහා වැය වුණා.

එහිදී අපි කැණීම් සිදුරු නවයක් සිදුකළා. එහි ගැඹුරුම සිදුර මීටර් 200ක් පමණ වුණා. අනෙක් සිදුරු අඩි 250-300 වගේ ඒවා. ඒවායෙන් ලබාගත් සාම්පල පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා අධ්‍යයනාංශයේ රසායනාගාරවල, මැණික් හා ස්වර්ණාභරණ පර්යේෂණ ආයතනය (gem and jewellery research institute) පර්යේෂණ කළා. ඊට අමතරව කැනඩාවේ සහ අයර්ලන්තයේ රසායනාගාරවලටත් යැව්වා. ඒ රසායනාගාර දත්ත අනුව තමයි අපි දැනගත්තේ මේවායේ රත්රන් තිබෙනවා කියලා. භූ විද්‍යා න්‍යායන්ට අනුව මේ ප්‍රදේශයේ අනිවාර්යෙන්ම රත්රන් තියෙන්න ඕනේ. නමුත් ඒක කලින් කවුරුත් වාර්තා කරලා තිබුණේ නැහැ. ස්වීඩනයේ කෙරෝනා කියන ප්‍රදේශයේත් මේ හා සමාන තත්ත්වයක් තිබෙනවා. ඒ ප්‍රදේශයේත් රත්රන් තිබෙනවා.

සාමාන්‍යයෙන් ආර්ථික වශයෙන් වටිනා නිධියක් ලෙස සැලකෙන්නේ ගල් ටොන් එකකට රත්රන් ග්‍රෑම් 0.5ක ප්‍රමාණයක් තිබෙනවා නම් පමණයි. මෙතැන අපිට හමුවන්නේ ග්‍රෑම් පහක් විතර. ඒක ස්ථිරයි. ඒ නිසා මේ නිධිය ඉතා හොඳ ආර්ථික වටිනාකමක් සහිත තැනක්. මේ නිධියේ ආර්ථික වටිනාකම හරිහැටි තීරණය කරන්න ඉතිරි ගවේෂණයන් කරන්න ඕනේ.

මේ ගවේෂණය කළේ වර්ග කිලෝමීටරයක් වැනි කුඩා ප්‍රදේශයක. දැන් අපි රත්රන් තිබෙනවා කියලා දන්නවා. නමුත් ඒක ආර්ථික වටිනාකමක් සහිත නිධියක්ද කියලා කියන්න අපට තව ගවේෂණයන් කරන්න ඕනේ. තවත් වර්ග කිලෝමීටර් 25ක් වගේ භූමියක අපිට ඒ ගවේෂණයන් කරන්න තිබෙනවා. ඒ සඳහා අනුග්‍රහයක් ඕනේ. මොකද කලින් ගවේෂණය කළ සමාගමත් අපිට පුළුවන් උපරිම අනුග්‍රහය දැක්වූවා. රජයෙන් ලැබු‍ණේ ඒ සඳහා අවශ්‍ය අවසර පත්‍රය පමණයි.

මෙම ප්‍රදේශයේ විතරක් නෙවෙයි. අපි මේ හා සමානව ලංකාවේ තව ස්ථාන පහක මූලික පර්යේෂණ කළා. ඒ ස්ථාන පහේත් මේ ආකාරයෙන්ම රත්රන් තිබෙනවා. සේරුවාවිල මේ ප්‍රදේශයේ අපි අවසර ඉල්ලුවේ වර්ග කිලෝමීටර් 21කට. එයින් වර්ග කිලෝමීටර් 08කට තමයි අපිට මේ වන විට අවසර ලැබිලා තිබෙන්නේ. ඉතිරි 13ට අවසරයත් ඉදිරියේදී ලැබෙයි. ඊට අමතරව ත්‍රිකුණාමලයේ ඉඳලා හම්බන්තොට වෙනකල් වර්ග කිලෝමීටර් 12,000ක විතර ප්‍රදේශයක වටිනා ඛණිජ තිබෙන බව අපි දන්නවා. ඒ අතරතුර රත්රන් කියන්නේ එකක් පමණයි.”