BREAKING NEWS
Search

සුනාමි ව්‍යසනයට වසර 16ක්

392

සුනාමි ව්‍යසනය සිදු වී අදට වසර 16ක් සපිරෙනවා.

සුනාමි ව්‍යවසනයෙන් මිය ගිය ජනතාව සිහිපත් කරමින් ඔවුන්ට පිං පැමිණවීම ප්‍රධාන තේමාව කර ගත් ජාතික සුරක්ෂිතතා දිනය ද අද (26) සෞඛ්‍ය අංශ විසින් ලබාදී ඇති මාර්ගෝපදේශ අනුගමනය කරමින් සීමිත පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව පෙරවරු 9.25 සිට 9.27 දක්වා මිනිත්තු දෙකක නිශ්ශබ්දතාවක් සුරකින ලෙසටයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටියේ.

මීට අමතරව දිස්ත්‍රික් මට්ටමින් ද සර්ව ආගමික වතාවත් සිදුකිරීමට පියවර ගෙන ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි සඳහන් කළේ.

මේ අතර ජාතික සුරක්ෂිතතා දින සැමරුමට සමගාමීව හික්කඩුව – තෙල්වත්ත – පැරෑලිය සුනාමි ස්මාරකය අභියසදී ද සීමිත පිරිසකගේ සහභාගීත්වයෙන් සැමරුමක් පැවැත්වීමට සූදානම් කර ඇති බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.

එමෙන්ම, මීට පෙර සුනාමි සැමරුම් වලදී කොළඹ කොටුවේ සිට පැරෑලිය දක්වා ගමන් කළ දුම්රිය කොවිඞ් වසංගතය හේතුවෙන් මෙවර ධාවනයේ නොයෙදන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

එමෙන්ම, ස්වදේශ කටයුතු සහ ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ රජයක් ලෙස ස්වභාවික ආපදා සහ විපත්වලින් ජනතාව ආරක්ෂා කිරීමේ වගකීමට බැදී සිටින බවයි.