සුනාමියෙන් අතුරුදහන්වූ පුතා වසර 16 කට පසුව හමුවූ හැටි (PHOTOS)

740

දිනය 2004 දෙසැම්බර් 26 වැනිදා. අම්පාර මුහුදුබඩ ප්‍රදේශවල ජනතාව සුපුරුදු පරිදි සිය එදිනෙදා කටයුතු වල නිරතව සිටියහ. උදෑසන නොසිතූ දෙයක් සිදුවිය.

ඒ,සුනාමියකි. සමන්තුරේ ජීවත් වූ අබුසාලි සිත්ති හමාලියා ගේ පවුල ද එහි බලපෑමට ලක්විය. නමුත් ඇය නිවසේ නොසිටියාය. ඇය එවකට සේවයේ යෙදෙමින් සිටියේ අම්පාරේ රෝහලක ය.ඒ, සාත්තු සේවිකාවක් ලෙසය.

ඇයට ඒ වනවිට අවුරුදු 5ක කුඩා පිරිමි දරුවෙක් සිටියේය.ඔහු රාසීන් මොහොමඩ් අක්‍රම් රිස්කාන් ය.

හමාලියාගේ හිස ගිනිගත්තේ තම දරුවා මතක්වීමෙනි.නමුත් සුනාමිය හේතුවෙන් සමන්තුරේ ප්‍රදේශයට යෑම ඇති දුෂ්කර විය.

ඇය දින තුනකට පසු සිය නිවස තිබූ ප්‍රදේශයට ගිය ද ඇයගේ පවුලේ අය එහි නොවීය.නමුත් තම පුතු අම්පාරේ රෝහලක සිටින බවට ඇයට ආරංචියක් ලැබිණි.

ඒ අනුව එහි ගිය ඇයට අසන්නට ලැබුණේ වෙනත් කෙනෙක් එම දරුවා රැගෙන ගොස් ඇති බවය.

“ඊට පස්සේ මම මගේ පුතාව හැම තැනම හෙව්වා.නොගිය තැනක් නෑ.”

සුනාමියෙන් වසර 12කට පසුව ඇයට තම අතුරුදන්ව සිටි දරුවා ගැන තොරතුරක් ලැබුණි. එයින් දැක්වුණේ, තම දරුවා අම්පාර ප්‍රදේශයේ පාසැලක ඉගෙනුම ලබන බවය.

ඒ අනුව, ඇය එම පාසලට ගොස් සිය පුතු පිළිබඳ ව තොරතුරු විමසා තිබේ.එහිදී එම පාසලේ විදුහල්පති ඇයට කිසිදු තොරතුරක් ලබා නොදුන් බවත් ඇය පැවසුවාය.

“එත් මම මගේ උත්සහය අත්හැරියේ නෑ.පස්සේ මට පුළුවන් වුණා මගේ පුතා ඉන්න නිවස සොයා ගන්න.”

ඒ වනවිට සිංහල පවුලක් සමග හැදී වැඩෙමින් සිටි තම පුතුට දෙමළ භාෂාව කතාකිරීමට හැකියාවක් නොතිබුණු බවත් ඇයට සිංහල නොතේරීම හේතුවෙන් තම පුතු සමග අදහස් හුවමාරු කර ගැනීමට ඇය ට නොහැකි වූ බවත් ඇය පැවසුවාය.

පසුව සිය නිවසට ගිය හමාලියා,දැනට 21වැනි වියේ පසුවන මොහොමඩ් අක්‍රම් ට දුරකථනයෙන් නැවත වරක් කතා කර තිබේ. එහිදී ඇය තම පුතුගේ සිරුරේ ඇති “උපන් ලප සහ සලකුණු” ගැන විමසා තිබේ.

“ඊට පස්සේ පුතා දැනගත්තා එයාගේ අම්මා මම තමයි කියලා. ඉන් දින කිහිපයකට පස්සේ මගේ පුතා මාව සොයාගෙන සමන්තුරේ ට ආවා,” කඳුළු පිරි දෙනෙතින් යුතුව ඇය පැවසුවා.