සිස්ටම් එකක් හැදුවේ රටේ ක්‍රිකට් දියුණුවටයි කවුරු කිව්වත් මුහුණ බලා වැටුප් ගෙවන්නේ නම් නෑ

509

‘10 වැනි 11 වැනි තැන්වල අපේ ක්‍රිකට් තියෙන්නේ.තව කොහේ යන්න ද? අවසන් ගමන් තමයි යන්න තියෙන්නේ’

තාක්ෂණික කමිටු සභාපති අරවින්ද

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ හා ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුව වෙනුවෙන් නව කොන්ත්‍රාත් ක්‍රමවේදය සකස් කළ බවත් එක් එක් අයගේ මුහුණ බලා වැටුප් හෝ දීමනා තීරණය කිරීමට කිසිදු සූදානමක් නැතැයි වාර්ෂික කොන්ත්‍රාත් ක්‍රමවේදය සකස් කළ ක්‍රිකට් තාක්ෂණික කමිටු සභාපති අරවින්ද ද සිල්වා මහතා පවසයි.ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝක ශ්‍රේණිගත කිරීමේ පහළින්ම සිටින නිසා ක්‍රිකට් ක්‍රීඩාව උඩට ගන්න‘සිස්ටම්‘එකක් හැදූ බව ඒ මහතා පැවැසීය.‘දිනමිණ‘සමග විශේෂ සාකච්ඡාවකට එක්වූ අරවින්ද ද සිල්වා මහතා පැවැසූවේ යම් ක්‍රමවේදයක් සැදූ පසු එයට විරුද්ධවීම ඉතාම අසාධාරණ බවයි.

“අපි ආදරය කරන ක්‍රීඩකයෝ පිරිසක් ඉන්නේ. කා සමගවත් තරහක් නෑනේ. ලෝකයේ 10වැනි 11වැනි තැන්වල අපේ ක්‍රිකට් තියෙන්නේ.තව කොහේ යන්න ද? අවසන් ගමන් තමයි යන්න තියෙන්නේ.අපට ඉදිරියේදී ලෝක කුසලාන තරගාවලි දෙකක් තියෙනවා.දැන්ම තරුණ කණ්ඩායමක් හදා ගන්න අවශ්‍යයි.ඒකයි මේ කරන්නේ.ජ්‍යෙෂ්ඨයින්ගේ ක්‍රිකට් ගැන අප දන්නවා.ඒ අය අමතක කරලා නෑ.ඒ අය අවශ්‍ය වේලාවට අවශ්‍ය තැනට යොදා ගන්නවා.කොහොම වුනත් රටේ නීතියක් තියෙනවා.ඒ නීතිය අනුව තරග සංචාර යා යුතුයි.නැත්නම් ක්‍රිකට් ආයතනය විනය පියවර ගනියි“සිල්වා මහතා පැවැසීය.

“අප ඉතාම නම්‍යශීලීයි.ඕනෑම ක්‍රීඩකයකු හෝ ඕනෑම කණ්ඩායමක් සමග මේ නව කොන්ත්‍රාත් ක්‍රමවේදය පිළිබඳ සාකච්ඡා කිරීමට සූදානම්.නමුත් එක එක කතා කිව්වට කවුරුත් තාම ඇවිත් නෑ.ක්‍රීඩකයින්ට කොන්ත්‍රාත් යෝජනා කොට තිබෙන්නේ නිසි ඇගැයීමකින් පසුවයි.ක්‍රීඩකයින්ගේ දස්කම්,ශාරීරික යෝග්‍යතාව,ක්‍රීඩකයින්ගේ සූදානම,නායකත්වය සඳහා පෙරමුණ ගැනීම සහ අනාගත වැඩදායී බව වෙනුවෙන් ලකුණු ක්‍රම භාවිතා කර කොන්ත්‍රාත් ගිවිසුම් සකස් කළේ.පළපුරුද්ද,ජ්‍යෙෂ්ඨත්වය වැනි කාරණා පිළිබඳවත් සැලකිලිමත් වුණා.ඇගැයීමේ ලකුණු ක්‍රමවේදය ඕනෑම වේලාවක ඕනෑම ක්‍රීඩකයකුට බලන්න පුලුවන්“ සිල්වා මහතා පැවැසීය.

“ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ නව කොන්ත්‍රාත් ක්‍රමවේදය විනිවිදභාවයක් නැති බවට කවුරු හරි චෝදනා කරනවා නම් ලකුණු ක්‍රමය පිළිබඳ අවබෝධයක් ලබා දෙන්න අප සූදානම්.ටෙස්ට්,එක්දින හා විස්සයි 20 තරග අංශ තුනේම ක්‍රීඩා කරන අයට මෙම නව ක්‍රමයේ වාසියක් තිබෙනවා.දක්ෂතා දක්වන සියලුම ක්‍රීඩකයින්ට උඩට එන්න මේ නව ක්‍රමය තුළින් පුළුවන්.ඒක විශේෂ අවස්ථාවක්“

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් බහුතරයක් නව ක්‍රිකට් කොන්ත්‍රාත්තුව අත්සන් තැබීම ප්‍රතික්ෂේප කර ඇතත් එංගලන්ත සංචාරයට එයින් කිසිදු බලපෑමක් ඇති නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන පැවැසීය.ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ නව කොන්ත්‍රාත් ක්‍රමවේදයේ යම් අඩුපාඩුකම් ඇත්නම් සියල්ල සාකච්ඡාවෙන් විසඳාගත යුතු බව ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රකාශකයකු පැවැසීය.

නව වාර්ෂික කොන්ත්‍රාත් ක්‍රමවේදය,ක්‍රිකට් අධ්‍යක්ෂ ටොම් මූඩි මහතා සහ තාක්ෂණික කමිටු සභාපති අරවින්ද ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු ක්‍රිකට් උපදේශන මණ්ඩලය සකස් කොට මාධ්‍ය මගින් ප්‍රසිද්ධ කළ අතර එවිට ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් යුතු ක්‍රිකට් කළමනාකරණ කමිටුව මගින් සිදු කෙරුණි.

ප්‍රින්ස් ගුණසේකර