සිවුරු ගලවා ජංගම දුරකථන අලෙවිසැලක් කැඩු චීවරධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට

209

සිවුරු ගලවා රෙදි පොරවාගෙන වේයන්ගොඩ නගර මධ්‍යයේ පිහිට ජංගම දුරකතන අලෙවිසලකට ඇතුළු වී එහි දුරකතන සොරකම් කළ ස්වාමීන් වහන්සේලා දෙනමක් ඊයේ වේයන්ගොඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වේයන්ගොඩ නගර මධ්‍යයේ පිහිටි විහාරස්ථානයක ස්වාමීන් වහන්සේලා දෙනමකි.

ඊයේ අලුයම 2.45ට පමණ සැකකාර ස්වාමීන් වහන්සේ දෙනම වේයන්ගොඩ නගරයේ විහාරස්ථානය අසලම පිහිටි ජංගම දුරකතන අලෙවිසලකට ඇතුළු වී එහි ජංගම දුරකතන සොරා ගන්නා ආකාරය වෙළෙඳසලේ සවිකර තිබෙන සී.සී.ටී.වී.කැමරාවල පටිගත වී ඇත.

අලෙවිසල අසල සිවුරු ගලවා ඇඳ රෙදිවලින් පොරවාගෙන දුරකතන අලෙවිසලේ ඉහළ මහලයට ගොඩ වී එහි ජනේලයක් කඩා මෙම ස්වාමීන් වහන්සේලා දෙනම ජංගම දුරකතන අලෙවිසලට ඇතුළු වී ඇති බව පොලිස් පරීක්ෂණවලින් හෙළි වී ඇත්තේ.

චීවරවල කොටස් වෙළෙඳසලට ඇතුළු වූ ස්ථානයේ තිබී පොලිසිය සොයාගෙන ඒ අනුව,පොලිස් නිල සුනඛයන් ද යොදා සිදුකළ විමර්ශනවලදී එම නිල සුනඛයා විහාරස්ථානය වෙත ගොස් ඇත.

පසුව සී.සී.ටී.වී.දර්ශන ද පරීක්ෂා කිරීමෙන් අනතුරුව සැකකාර ස්වාමීන් වහන්සේලා දෙනම වේයන්ගොඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

සොරකම් කරන ලද වටිනා ජංගම දුරකතන 7ක් ද පොලිස් භාරයට ගත් බව පොලිසිය පවසයි. සැකකරුවන් දෙදෙනා අද අත්තනගල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

අත්තනගල්ල සහකාර පොලිස් අධිකාරි ප්‍රභාත් දයානන්ද මහතාගේ උපදෙස් මත වේයන්ගොඩ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්න වෑත්තෑව මහතාගේ අධීක්ෂණය යටතේ නිලධාරීහු කණ්ඩායමක් වැඩිදුර විමර්ශන පවත්වයි.