සිනමා නිලි හයිසින්ත්ගේ අවසන් කටයුතු කිරීමට ජපානයේ ඉන්න පුතු එනතුරු පමාවෙයි

33675

ටෙලි නාට්‍යයක රූගත කිරීමක් අවසන් කර පෙරේදා (31) අලුයම වෑන් රථයකින් කොළඹ දක්වා ගමන් කරමින් සිටියදී රිය අනතුරකින් මියගිය ප්‍රවීණ රංගන ශිල්පිනී හයිසින්ත් වි​ජේරත්න (75) මහත්මියගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා නුවරඑළිය මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත (31) දින පස්වරුවේ යොමු කෙරිණ.

හයිසින්ත් විජේරත්න මහත්මිය ගමන් ගත් වෑන් රථය හැටන් නුවරඑළියේ මාර්ගයේ ලිිදුල නගරය ආසන්නයේදී මාර්ගයෙන් ඉවතට පැන අඩි 200ක් පමණ කොත්මලාඔය දෙසට පෙරළී ඇත්තේ එදින අලුයම 12.10ට පමණය.

අනතුර සිදු වීමත් සමග එම ස්ථානයට ළඟා වූ ලිදුල පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් බරපතළ තුවාල ලබා සිටි ප්‍රවීණ රංගන ශිල්පිනී හයිසින්ත් විජේරත්න මහත්මිය අනතුර සිදුවූ ස්ථානයේ සිට ප්‍රධාන මාර්ගයට ත්‍රිරෝද රථයකින් රැගෙන විත් සුවසැරිය ගිලන් රථයක නංවා ඇත. එම අවස්ථාවේ ඇයට සිහිය තිබූ බවත් ඇය ලිදුල ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසු ප්‍රතිකාර ලබා දෙමින් සිටියදී ජීවිතක්ෂයට පත් වූ බව ලිදුල පොලිසිය පවසයි.

රියැදුරාට නින්ද යාම නිසා වෑන් රථය මාර්ගයෙන් ඉවතට පැන අනතුර සිදුවී ඇති බවත්, රියැදුරාට කිසිදු තුවාලයක් සිදුවී නොමැති බවත් රියැදුරාගේ නොසැලකිලිමත් රිය ධාවනය හේතුවෙන් මෙම අනතුර සිදුවී ඇති බව අනාවරණය වී තිබේ. අත්අඩංගුවට ගත් වෑන් රථයේ රියැදුරා නුවරඑළිය මහෙස්ත්‍රාත් අධිකරණයේ වැඩ බලන මහෙස්ත්‍රාත් නලින් තිලකා හේරත් වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැකකරු ලබන 03 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළාය. මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ මාවනැල්ල අරණායක ප්‍රදේශයේ පදිංචි අරුණ කුමාර මදුරංග (20) නමැති අයෙකි.

අනතුරට පත් වෑන් රථය (31) දින පස්වරුවේ ලිදුල පොලිසිය විසින් ගොඩ ගන්නා ලදී. හයසින්ත් විජේරත්න ප්‍රවීණ ශිල්පිනියකගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දෙන බව පවුලේ ඥාතීහු පවසති.

’‘ අක්කා ඇයි මේ දවස්වල නුවරඑළියේ ගියේ කියා ඇහුවාම නෑ නංගී මම අද රෑම නවය දහය වෙද්දී ගෙදර එනවා කිව්වා” යැයි හයසින්ත් විජේරත්නගේ සොයුරියක් මාධ්‍යට පැවැසුවාය.

සුගතපාල සෙනෙරත් යාපාගේ ”පෙම්බර මධු” චිත්‍රපටයේ උප ප්‍රධාන චරිතය රඟපාමින් සිනමාවට එක්වූ ඇය ”කරුමක්කාරයෝ”, ”කිරි මදු වැල්”, ”ගෙදර බුදුන් අම්මා”, සළඹක් හඬයි”, ”වන බඹරා”, ”විජය ගීතා”, ”ක්‍රිස්තු චරිතය”, ”ඉන්දුට මල් මිටක්”, ”තුන්වැනි යාමය”, ”සුරබිදෙන”, ”බිතු සිතුවම්” වැනි චිත්‍රපට රැසක රඟපෑවාය.

වේදිකාවේ ද කැපී පෙනෙන රංගනයන් ඉදිරිපත් කළ ඇය පුංචි තිරයට එක්වුයේ ඩී.බී. නිහාල්සිංහයන්ගේ ”දිමුතු මුතු” ටෙලි නාට්‍යයෙනි. ”සුළඟ”, ”සුබ ප්‍රාර්ථනා”, ”හිම රාත්‍රිය”, ”ප්‍රමාද වැඩියි”, ”චාතුර්යා”, බට්ටි” වැනි ටෙලිනාට්‍ය රැසක රංගනයෙන් දායක වූ ඇය වඩාත් ජනප්‍රියත්වයට පත්ව ඇත්තේ ටෙලි නාට්‍යවල මවගේ චරිතය නිරූපණය කිරීමෙනි.

ඇය එක්දරු මවක වූවාය. හයසින්ත් විජේරත්නගේ සැමියා අයිවන් විජේරත්න ද මීට වසරකට කීපයකට පෙර අභාප්‍රාප්ත විය. ජපානයේ රැකියාවක නිරතව සිටින පුතණුවන් පැමිණෙන තුරු ඇගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදු නොකෙරෙන බව පවුලේ ඥාතීහු පැවැසූහ. පුතු පැමිණි පසුව ඇයගේ දේහය වත්තල මාබෝලේ පිහිටි නිවසේ තැන්පත් කර පසුව මාබෝල දේවස්ථානයේ සුසාන භූමියේ අවසන් කටයුතු සිදු කිරීමට නියමිතය.

උපුටාගැනීම – ගොසිප්ලංකා
කතෘ – සිතාර