සහරාන්ට තව්හීද් ජමාත් සංවිධානයෙන් රුපියල් මිලියන 5ක්

119

ජාතික තව්හීද් ජමාත් සංවිධානයට අයත්ව තිබු බැංකු ගිණුමකින් රුපියල් ලක්ෂ 54 ක මුදලක ගනුදෙනුවක් සම්බන්ධයෙන් ජාතික තව්හීද් ජමාත් සංවිධානයේ භාණ්ඩාගාරික ලෙස කටයුතු කළ “මොහොමඩ් යූසුෆ් මොහොමඩ්” තව්ෆික් මව්ලවිවරයා කොමිසම හමුවේ අනාවරණය කළේය.
 
බන්ධනාගාර නිලධාරින් විසින් එම මව්ලවිවරයා ඊයේ (24) ජනාධිපති කොමිසමට ඉදිරිපත් කළ අතර ඔහු වැඩිදුරටත් කියා සිටියේ ෂැන්ග්‍රීලා හෝටලයට ප්‍රහාරය එල්ල කළේ සහරාන් හෂීම් බවත් ඔහුගේ හිසෙන් තමන් ඔහුව හඳුනාගත් බවත්ය. 

ඉකුත් වසරේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර මාලාව එල්ල කිරීමට නායකත්වය ලබාදුන් සහරාන් හෂීම් සමග සමීප සබඳතා පැවැත්වූවෙක් වන රක්ෂිත බන්ධනාගාරගතව සිටින “මොහොමඩ් යූසුෆ් මොහොමඩ් තව්ෆික්” නම් මව්ලවිවරයාව සාක්ෂි විමසීම සඳහා ඊයේ පස්වරුවේ බන්ධනාගාර නිලධාරින් විසින් ජනාධිපති කොමිසමට ගෙන ආවේය.

“ඔබ සහරාන්ගේ පල්ලියේ වැටුප් ලබන මව්ලවිවරයෙකු ලෙස කටයුතු කළාදැයි” රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරිය ප්‍රශ්න කළාය.

“ඔව්. සහරාන් මට ආරාධනා කළා මව්ලවිවරයෙකු විදිහට ඉස්ලාම් දහම අනිත් අයට කියාදෙන්න කියලා. මම 2014 වැටුප් ලබන මව්ලවිවරයෙකු ලෙස කාන්තන්කුඩියේ ජාතික තව්හීද් ජමාත් පල්ලියට සම්බන්ධ වුණා.” යැයි මව්ලවිවරයා පිළිතුරු දුන්නේය.

“ඔබ සහ මුස්තකි නම් තැනැත්තාගේ නමට ජාතික තව්හීද් ජමාත් සංවිධානයට තිබුණු බැංකු ගිණුමකින් ඔබ රුපියල් 5,484,000 ( පනස් හතර ලක්ෂ අසූ හතර දහසක්) සහරාන්ට ලබාදුන්නාද?” රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරිය විමසීය.

“මමයි, සංවිධානයේ භාණ්ඩාගාරික වන මුස්තකින්නුයි තමයි එම මුදල ගන්න අත්සන් කළේ. භාණ්ඩාගාරික ලෙස. මුස්තකින්ට තමයි මුදල් දුන්නේ. සහරාන්ට සෘජුව මුදල් දුන්නද කියලා මම දන්නේ නැහැ.” යැයි සාක්ෂිකරු පිළිතුරු දුන්නේය.

“එම මුදල මොකටද භාවිතා කළේ?” යැයි රජයේ අධිනීතිඥවරිය විමසූ විට සාක්ෂිකරු පිළිතුරු දුන්නේ, “පල්ලිය හදන්න” යනුවෙනි.

එහිදි රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරිය යළි ප්‍රශ්න කළේ, “2015 ජනාධිපතිවරණයේදි සහරාන් ඇතුළු ජාතික තව්හීද් ජමාත් සංවිධානය කවර අපේක්ෂකයෙකුට සහය දුන්නේද?” යනුවෙනි.

“අපි විවෘතව සහය දිය යුතු කෙනා ගැන කිව්වේ නැහැ. නමුත් අපි අපේ ජනතාවට මගපෙන්නුවා. 

දූෂණ වංචා නොමැති අයෙක් තෝරාගන්න කියලා. 2015 මහමැතිවරණයේදීනම් අපි දේශපාලන පාර්ශව කිහිපයක් සමග ගිවිසුම් ගත වුණා. එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා, අබ්දුල් රහුමාන්, සිබ්ලි ෆාරුක් සහ රූබි යන පිරිසත් සමග” යැයි මව්ලවිවරයා පිළිතුරු දුන්නේය.

මෙහිදී ජනාධිපති කොමිසමේ සමාජික අභියාචනාධිකරණය විනිසුරුවරයා විමසා සිටියේ, “2019 අප්‍රේල් 21 බෝම්බ පිපිරීමේ මහා විනාශය සිද්ධවෙද්දී ඔබ කොහෙද සිටියේ?” ලෙසය.
“මම පල්ලියේ හිටියේ” යැයි සාක්ෂිකරු පිළිතුරු දුන්නේය.

“ඔබට අන්තීමට සහරාන්ව හම්බුණේ කවදා?” ලෙස ජනාධිපති කොමිසමේ සමාජික අභියාචනාධිකරණය විනිසුරුවරයා යළිත් ප්‍රශ්න කළේය.

“2017 මාර්තු 10 කාත්තන්කුඩිය අල්ලියාර් මංසන්ධියේ ඇතුවුණ ගැටුමෙන් පස්සේ මම සහරාන්ව දැක්කේ නැහැ. දුරකතනයකින්වත් සම්බන්ධ වුණේ නැහැ.” සාක්ෂිකරු කියා සිටියේය.

“ඔබ අත්අඩංගුවට පත්වුණේ කවදාද?” ජනාධිපති කොමිසමේ සාමාජික අභියාචනාධිකරණය විනිසුරුවරයා යළි ප්‍රශ්න කළේය.

“ප්‍රහාරයෙන් දවස් දෙකකට පස්සේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය අපේ නිවසට ඇවිල්ලා සහාරන්ගේ හිස හඳුනාගන්න පුළුවන්ද ඇහුවා. මම ඒක හඳුනාගත්තා.” 

“පසුව අප්‍රේල් 28 වැනිදා මම අත්අඩංගුවට පත්වුණා” යැයි සාක්ෂිකරු වැඩිදුරටත් සාක්ෂි ලබාදුන්නේය.