සමහරු ඔලිම්පික් ගියේ ට්‍රිප් ගියා වගේ – ක්‍රීඩා ඇමති නාමල්

452

මෙරට ක්‍රීඩකයින්ට ඔලිම්පික් පදක්කමක් දිනා ගැනීමට නොහැකිවීමට හේතු කිහිපයක් බලපෑ බව ක්‍රීඩා ඇමති නාමල් රාජපක්ෂ මහතා පවසයි.

පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ ඇතැම් ක්‍රීඩකයින් ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා සහභාගී වූයේ විනෝද චාරිකා යන මානසිකත්වයකින් බවය.

ඒ හේතුවෙන් ඇතැමුන් සපත්තු පවා ලංකාවේ තබා ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා එක්වී සිටි බවද අමාත්‍යවරයා පැවසීය.

“ඔලිම්පික් පදක්කමක් දිනන්න රටක් සාමාන්‍යයෙන් අවුරුදු 10ක 15ක කාලයක ඉඳන් ලෑස්ති වෙනවා. හැබැයි අපේ රටේ මාස 6න් 6ට මේ වැඩසටහන් වෙනස් වෙනවා. මුල ඉඳන් කැඩිච්ච විනය නිසා අද ඔලිම්පික් ක්‍රීඩාවට සම්බන්ධවෙනවා සපත්තු දෙක ලංකාවේ තියලා. සමහර ක්‍රීඩකයෝ යන්නේ ට්‍රිප් එකක්. ඒ නිසා තමයි තමන්ගේ හොඳම දක්ෂතාවයටවත් ඒ අයට එන්න බැරි. සමහරු ඒ වෙලාවේ තමන්ගේ සුපුරුදු ඇඳුම අඳින්න ඕනේ කියලා ඉල්ලීම කළා ලු. ඒ ගැනත් මම වාර්තාවක් කැඳෙව්වා. ඒ වගේම ඔලිම්පික්වලට සම්බන්ධ වුණේ මමත් රාජ්‍ය ඇමතිතුමාත් විතරයි. අනික් අමාත්‍යවරු තමන්ගේ අමාත්‍යාංශවල නිල කාර්යයක් සඳහා තමයි ඒ රටට ගියේ. මෙතන ප්‍රශ්නය තියෙන්නේ රොෂාන් රණසිංහ ඇමතිතුමා ගැන නම් එතුමගේ ව්‍යාපාර තියෙන්නේ ජපානයේ. මගේ ටිකට් එකත් අරන් දුන්නේ එයා.”