සමස්ත ගෝලීය COVID 19 ආසාදිතයින් ගණන ලක්ෂ 66 ඉක්මවයි….!

213

සමස්ත ගෝලීය කොවිඩ් නයින්ටීන් ආසාදිතයන් ගණන මේ වන විට ලක්ෂ හැටහය ඉක්මවා තිබේ.

වාර්තා වන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව තුන්ලක්ෂ අසූ අටදහසකට අධිකයි.

මේ අතර චීනයට ලබාදෙන දඬුවමක් ලෙස චීනයේ සිට තම රටට එන සියලු ගුවන් ගමන් තහනම් කිරීමට පියවර ගන්නා බව අමෙරිකාව අද (04) නිවේදනය කළේය.

ලොව පුරා ඉතා බිහිසුණු ලෙස පැතිර යමින් පවතින කොවිඩ් වසංගතයේ කේන්ද්‍රස්ථානය බවට වරෙක යුරෝපය පත් විය.

වසංගතය පරාජය කර යළි නැගී සිටීමට අද එම කලාපයට හැකි වුණත් වෛරසයට බිලි වූ මිනිස් ජීවිත ප්‍රමාණය සුළුපටු නැත.

වරෙක සෑම විනාඩි දෙකකට වරක් කොවිඩ් මරණයක් වාර්තා වූ ඉතාලියෙන් ගත වූ පැය තුළ 24 දී වාර්තා වූයේ නව මරණ 71ක් පමණයි.

එරට සමස්ත මරණ සංඛ්‍යාව 33,601 ක්.

සංචරණ සීමාලිහිල් කිරීමේ අවසන් අදියරට ළඟාවෙමින් ජාතික සංචරණ තහනම ඉවත් කිරීමට ඉතාලිය අද පියවර ගත්තේය.

එක්සත් රාජධානියේ ව්‍යාපාරික කටයුතු පිළිබඳ අමාත්‍ය ආලෝක් ෂර්මා සිය පාර්ලිමේන්තු කතාව අතරතුර කොවිඩ් රෝග ලක්ෂණ වලින් පෙලෙන අයුරුයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මේ වනවිට ඔහු  නිවසේ ම ස්වයං හුදෙකලාවට යොමුකර තිබෙන බවද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

යුරෝපයේ ඊයේ වැඩිම මරණ සංඛ්‍යාව එක්සත් රාජධානියෙන් වාර්තා වූ අතර එය 359 ක්.

එරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 39,728 ලෙසයි.

දැනට වෛරසයේ වැඩිම බලපෑම අමෙරිකාව, බ්‍රසීලය ප්‍රමුඛ ලතින් අමෙරිකානු කලාපය මෙන්ම දකුණු ආසියානු කලාපය වෙත  යොමුව තිබේ.

ගත වූ පැය 24 තුළත් ලොව වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ බ්‍රසීලයෙන්.

එම සංඛ්‍යාව 1,269 ක්.

එරටින් වාර්තා වන සමස්ත මරණ සංඛ්‍යාව 32,568 ක්.

බ්‍රසීලයේ ආසාදිතයින් ගණන 584,562ක්.

මෙක්සිකෝවේ දෛනික මරණ පළමු වරට 1000 ඉක්මවා වාර්තා වී තිබුණේ සමස්ත මරණ සංඛ්‍යාව 11,729 දක්වා ඉහළ දමමින්.

ඒ මාස දෙකක් තිස්සේ පනවා තිබූ දැඩි සංචරණ සීමා ලිහිල් කිරීමට පියවර ගැනීමෙන් පසුව වීම විශේෂත්වයක්.

ගත වූ පැය 24 තුළ අමෙරිකාවෙන් වාර්තා වන මරණ ද 1000 ඉක්මවා තිබුණි.

සෞඛ්‍යය විශේෂඥයින් අනතුරු අඟවන්නේ, වර්ණභේදවාදයට එරෙහිව රට පුරා ක්‍රියාත්මක විරෝධතා, අමෙරිකාව තුළ කොවිඩ් – 19  ව්‍යයසනයක් ඇති කළ හැකි බවයි.

මේ අතර කොවිඩ් සම්බන්ධයෙන් චීනයට චෝදනා කරන අමෙරිකාව  චීනයේ සිට තම රටට එන සියලු ගුවන් ගමන් ලබන 16 වැනිදා සිට තහනම් කිරීමට පියවර ගන්නා බව අද නිවේදනය කළේය.

අමෙරිකානු ගුවන් යානාවලට චීනයට ඇතුළුවීම තවමත් තහනම් කිරීම හේතුවෙන් චීනයට දෙන දඬුවමක් ලෙස  මේ ක්‍රියාමාර්ගය ගත් අමෙරිකාව පවසයි.

වෛරසය පැතිරීම ආරම්භ වූ චීනයෙන් ඊයේ අලුතින් හඳුනාගැනුනේ එක් ආසාදිතයෙකු පමණයි.

චීනයේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 83,022 ක්.

මේ අතර ආසාදිතයන් අතින් අද පාකිස්තානය චීනය අබිබවා ගියේය.

පාකිස්තානයෙන් ආසාදිතයන් 85,264 ක් හඳුනාගෙන තිබේ.

දකුණු ආසියාවේ වැඩිම බලපෑමට ලක්ව ඇති ඉන්දියාවෙන් වාර්තා වන ආසාදිතයින් ගණන 216,824ක්.

ඉන්දියාවේ කොවිඩ් නයින්ටීන්  මරණ ගණන 6,088 ක්.

කොවිඩ් හේතුවෙන් බලපෑම් එල්ල වූ ඔස්ට්‍රේලියාවේ ඉදිකිරීම් අංශයට සහන පැකේජය හඳුන්වාදීම ප්‍රකාශය කිරීමට පැමිණි ඔස්ට්‍රේලියානු අගමැති ස්කොට් මොරිසන්ට ප්‍රදේශවාසියෙක් සිය තණබිමෙන් ඉවත් වීමට විධාන කර ඇත.

කොවිඩ් ව්‍යාප්තිය හමුවේ ඩ්‍රයිව් ඉන් කොන්සට් සංකල්පය අද වන විට ලොව පුරා නව ප්‍රවනතාවක් ඇතිකර තිබේ.

එවැනි ග්‍රීක සංදර්ශනයක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.

එහි අභාසය ලබමින් ඩෙන්මාර්කය ඩ්‍රයිව් ඉන් පාපන්දු තරඟයක් පැවැත්වීමට කටයුතු කර ඇත.

මේ සජීවී තරඟය නැරඹීමට අවස්ථාව හිමිවූයේ මෝටර් රථවලින් පැමිණි ප්‍රේක්ෂකයින්ට පමණයි.