සංගක්කාර ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයට එක්කර ගැනීමේ බලාපොරොත්තුවක්….!!!

246

ලෝක ප්‍රකට මාලිබෝන් ක්‍රිකට් සමාජයේ වත්මන් සභාපති ලෙසින් කටයුතු කරන හිටපු ශ්‍රී ලංකා නායක කුමාර් සංගක්කාරගේ නිල කාලය නිමා වීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත ඔහුගේ දැනුම සහ සේවය ලබා ගැනීමට බලාපොරොත්තු වන අතරම ඉන් අනතුරුව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ (අයි.සී.සී.) ඉහළම තනතුර වෙත සංගක්කාර වෙත අනුග්‍රහය දැක්වීමට ක්‍රිකට් ආයතනය සූදානමින් පසුවන බව එහි ලේකම් මොහාන් ද සිල්වා මහතා පවසා ඇත.

විදෙස් මාධ්‍ය සමඟින් දුරකථන සංවාදයකට එක්වෙමින් මෙම අදහස් පළ කර තිබූ ක්‍රිකට් ආයතන ලේකම්වරයා “එංගලන්ත මාලිබෝන් ක්‍රිකට් සමාජයේ වත්මන් සභාපතිත්වය දරන ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ විශිෂ්ටතම නායකයකු සහ ක්‍රීඩකයකු වන කුමාර් සංගක්කාරගේ එහි නිල කාලය අවසාන වීමෙන් අනතුරුව ඔහු සතු අති විශිෂ්ට දැනුමත්, හැකියාවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත ලබා ගැනීමේ අපේක්ෂාවක් අපට තිබෙනවා වගේම ඉන් අනතුරුව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ ඉහළම තනතුරක් දක්වා සංගක්කාර ගෙන යෑම වෙනුවෙන් අවශ්‍ය අනුග්‍රහය දැක්වීමත් අපගේ ප්‍රධානතම බලාපොරොත්තුවක්. ඒ අනුව ශ්‍රී ලාංකිකයකු මෙතෙක් අයි.සී.සී. සභාපතිත්වයට පත්වී නොමැති පසුබිමක අයි.සී.සී. සභාපතිත්වයට පත් වීමට වඩාත්ම සුදුසු සහ ගැළපෙනම ශ්‍රී ලාංකිකයා සංගක්කාර බවයි අපගේ හැඟීම. කෙසේ නමුත් අපි ඔහුගේ නම යෝජනා කළහොත් අනෙකුත් සාමාජිකයන්ද ඊට සහයෝගය දක්වනු ඇති බව අපට විශ්වාසයි.” යනුවෙන් පවසා තිබිණි.

කෙසේ නමුත් අයි.සී.සී. සභාපතිත්වය සදහා පත්වීමේදී කිසියම් රටක ක්‍රිකට් පාලක මණ්ඩලයක හෝ ක්‍රිකට් ආයතනයක සභාපතිත්වයක් දරා තිබෙන්නකු වීම කලක් අයි.සී.සී.යේ සම්ප්‍රදායක්ව පැවැතිණි. කෙසේ නමුත් වර්තමානය වන විට එම සම්ප්‍රදායෙන් පරිබාහිරව සභාපතිවරයා තෝරා පත්කර ගැනීමේ අවස්ථා වාර්තා වී තිබීමද විශේෂත්වයකි. ඒ අනුව ඊට හොඳම උදාහරණය වශයෙන් දැක්විය හැකි වත්මන් අයි.සී.සී. සභාපති ශසන්ක් මනෝහර් මහතා එම තනතුර සඳහා තේරී පත් වන අවස්ථාව වන විට ඔහු ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිත්වය දරා නොතිබිණි. එමෙන්ම මනෝහර් මහතා අදාළ තනතුර සඳහා යෝජනා කරන ලද්දේ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ වගකිවයුතු නිලධාරියකු වශයෙන් දෙවරක් කටයුතු කිරීමෙන් අනතුරුවය.

මේ අතර කොවිඩ්-19 වයිරසයේ බලපෑම හේතුවෙන් ලොව පුරා ක්‍රිකට් ක්‍රීඩාවට එල්ල වී ඇතිතර්ජනය හමුවේ සභාපතිවරයා ලෙසින් කුමාර් සංගක්කාරගේ නිල කාලය තවත් වසරකින් දීර්ඝ කිරීමට තීරණය කර ඇති බව මාලිබෝන් ක්‍රිකට් සමාජය පසුගියදා නිවේදනය කර තිබිණි. එම නිවේදනයට අනුව මාලිබෝන් ක්‍රිකට් සමායේ සභාපතිවරයකුගේ නිල කාලය වසරකි. කෙසේ වෙතත් පසුගිය වසරේ එනම් 2019 වසරේ ඔක්තෝබර් මස 1 වැනිදා එම නිලයට පත්වූ සංගක්කාරගේ නිල කාලය එළැඹෙන 2021 වසරේ සැප්තැම්බර් මස 31 වැනිදා දක්වා දීර්ඝ කිරීමට මාලිබෝන් ක්‍රිකට් කමිටුව නිර්දේශ කර තිබීමද සුවිශේෂී සිදුවීමකි.