ජැෆ්නා කිංග්ස් යනු එක පවුලක් ලෙස ක්‍රීඩා කරන සහෝදරත්වයෙන් බැඳුණු කණ්ඩායමක් බවත් තම කණ්ඩායම දෙවතාවේදීම ශූරතාව හිමි කර ගැනීමේ රහස එම අන්‍යොන්‍ය බැඳීම බවත් එල්පීඑල් තරගාවලියේ යාපනය කණ්ඩායමේ නායක තිසර පෙරේරා පැවසීය.
සූම් තාක්ෂණය ඔස්සේ ඊයේ (13 වැනිදා) මාධ්‍ය හමුවකට එක්වෙමින් තිසර පෙරේරා එම අදහස් දැක්වූ අතර මෙවර තරගාවලියේ ද ශූරතාවය රැක ගැනීමට තම කණ්ඩායමට හැකිවනු ඇති බව තමාට නායකයෙකු ලෙස දැඩි විශ්වාසයක් පවතින බව ද එහිදී සඳහන් කළේය.
එල්පීඑල් තරගාවලියේ තෙවන අදියර යටතේ අවසන් වූ පළමු තරග 10 අතරෙන් පෙරමුණ ගැනීමට පසුගිය අවස්ථා දෙකේදීම ශූරතාව හිමිකර ගත් තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුත් ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමත් වී තිබිණි.
එල්පීඑල් තරගාවලිය යනු නවක ක්‍රීඩකයන් ජාතික කණ්ඩායමට හඳුන්වා දෙනු ලබන වැදගත් තරගාවලියක් බවත් ඒ සඳහා හොඳම උදාහරණයක් ලෙස පළමු තරගාවලිය යටතේ දස්කම් දැක්වූ මහීෂ් තීක්ෂණ දැන් ජාතික කණ්ඩායම නියෝජනය කිරීම හඳුන්වාදිය හැකි බවත් ඔහු පැවසීය.
මෙම තරගාවලිය යටතේ දස්කම් දක්වන වියස්කාන්ත් ඉදිරියේදී අනිවාර්යෙන් ජාතික කණ්ඩායම නියෝජනය කරනු ඇති බවට තිසර විශ්වාස කරන බවද තිසර එහිදී සඳහන් කළේය.
මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න හමුවේ හිටපු ශ්‍රී ලංකා නායක සහ 2014 පන්දු වාර 20-20 ලෝක ශූර කණ්ඩායමේ සාමාජික තිසර පෙරේරා මෙසේ ද අදහස් දැක්වීය.
කණ්ඩායමක් ලෙස අපි හැමෝම එකතු වෙලා වැඩ කරනවා. ඒක තමයි අපේ ජයග්‍රහණයේ රහස. අපි එක පවුලක් වගේ ජීවත් වෙනවා. පළමු අවුරුද්දේ සිට මේ දක්වා අපේ ඒ බැඳීම ඒ විදිහටම ආරක්ෂා වෙලා තියෙනවා. අපේ පුහුණුකරු පිළිබඳව කතා කළොත් තිළිණ කණ්ඩම්බි කියන්නේ කණ්ඩායමක් බලාපොරොත්තු වන මට්ටමේ පුහුණුකරුවෙක්. ඔහු ජාතික කණ්ඩායම නියෝජනය කරලා තියෙන නිසා ඔහු ක්‍රීඩකයෙකු ලෙස සිතනවා. එය අපේ සාර්ථකත්වයට ඉතා වටිනවා. සාමාන්‍යයෙන් ප්‍රීමියර් ලීග් තරගවලදී ජාතික කණ්ඩායම නියෝජනය කළ පුහුණුකරුවන් ලැබෙන්නේ කලාතුරකින්. ඒ අතින් අපි වාසනාවන්තයි.
ජාතික කණ්ඩායමෙන් ඉවත් වෙලා මම දැන් වසරක් පමණ වෙනවා. ඒ කාලෙදීත් මම කණ්ඩායම වෙනුවෙන් මගේ දායකත්වය සියයට දෙසීයක් කණ්ඩායමට ලබා දුන්නා. හැබැයි මම කණ්ඩායමෙන් ඉක්මනින් ඉවත් වුණා කියලා දැන් පසුතැවෙන්නේ නැහැ. අලුතින් කණ්ඩායමට එන්න බලා සිටිය ක්‍රීඩකයන්ට ඉඩදීම පිණිස මම ඉවත් වුණා. හැබැයි තවමත් අපේ කණ්ඩායමේ ඉන්න සියලු දෙනා එක්ක කරට කර සෙල්ලම් කරන්න මට පුළුවන් කියලා මං දන්නවා. ජාතික කණ්ඩායමෙන් ඉවත් වූ පසුව මම මේ වනවිට ප්‍රිමියර් ලීග් තරගාවලි හත අටකට ක්‍රීඩා කර තිබෙනවා. මෙවැනි තරගවලදීත් මම ඒ දේ කරනවා. පාකිස්තානයේ හිටපු ක්‍රීඩක ෂොයිබ් මලික් ජැෆ්නා කිංග්ස් පවුලේ ප්‍රබල සාමාජිකයෙක්. ඔහු දැන් අපේම කෙනෙක් මෙන් අපට දැනෙනවා. තරගය ඇතුළෙ කරන්න පුළුවන් දේ අපි උපරිමයෙන් කරනවා.
කුෂාන් සුබසිංහ