ශී‍්‍ර ලංකාවට පාඩුවන ආකාරයට නැගෙනහිර ජැටිය දීමට හැදුවොත් ජානිපෙ විරුද්ධයි – ඇමැති විමල්

246

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය වරාය අධිකාරියට හෝ ශී‍්‍ර ලංකාවට පාඩුවන ආකාරයට ලබාදීමට ආණ්ඩුව තීරණය කළහොත් තමන් ඇතුළු ජාතික නිදහස් පෙරමුණ මන්තී‍්‍ර කණ්ඩායම ඊට විරුද්ධත්වය ප‍්‍රකාශ කරන බව කර්මාන්ත ඇමැති විමල් වීරවංශ මහතා පැවසීය.

ඇමැතිවරයා මේ බැව් පැවසුවේ කඩුවෙල ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඊයේ (22 දා) පැවති ප‍්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම අවසානයේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඇමැතිවරයා මෙසේ ද කීවේය.

“කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්වයකින් සංවර්ධනය කිරීමට සහ නැව්වලට අවශ්‍ය සේවාවන් සැපයීමට අනුමැතිය ලබා ගැනීම සඳහා කැබිනට් පති‍්‍රකාවක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ අනුව රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්වයක් සිදුවේ නම් එය කොයි ආකාරයෙන් කුමන සමාගමක් සමග ද යන්න ඇතුළත් කැබිනට් පති‍්‍රකාවක් නැවත ඉදිරිපත් කළ යුතුයි.

ඒ අනුව තමයි එය වරාය අධිකාරියට සහ අප රටට සුදුසු හෝ නුසුදුසු යෝජනාවක් ද කියා සලකා බැලීමට හැකි වන්නේ. නමුත් තවම එවැනි අමාත්‍ය මණ්ඩල පති‍්‍රකාවක් ලැබී නැහැ. එය අපට සෑහීමකට පත්වීමට හැකි මොඩලයක් නම් අපි පිළිගන්නවා. හැබැයි වරාය අධිකාරියට හෝ අප රටට පාඩු වන ආකාරයට තවත් පාර්ශ්වයකට වාසි වන ආකාරයට යෝජනාවක් නම් එයට අපි විරුද්ධ වෙනවා..”

ඔරුවල – සරත් ද සිල්වා
දිවයින