ශාන්ත ජෝන් ගිලන් රථ කණ්ඩායම අරගල භූමියෙන් ඉවත්වෙයි

94

ගාලු මුවදොර අරගල භූමියේ දීර්ඝ කාලයක් තිස්සේ රැඳී සිටි ශාන්ත ජෝන් ගිලන් රථ හමුදාවට අයත් සාමාජිකයින් අද එම අරගල භූමියෙන් ඉවත් වීමට කටයුතු කළා.

මීට මූලික හේතුව වී ඇත්තේ ඊයේ දිනයේදී කොටුව පොලිසිය විසින් අරගල භූමිය තුල රැඳී සිටිම අනවසර ක්‍රියාවක් බවටත් බලහත්කාරයෙන් රැඳී සිටින්නන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවටත් සඳහන් කරමින් නිකුත් කළ නිවේදනයයි.

ශාන්ත ජෝන් ගිලන් රථ හමුදාව ගාලු මුවදොර අරගල භූමිය සක්‍රිය වී සති දෙකකට පසුව එහි සිය ස්වේච්ඡා සේවා කටයුතු ආරම්භ කළ අතර මාස 3කට ආසන්න කාලයක් ඔවුන් අඛණ්ඩව අරගල භූමියට පැමිණෙන සහ අරගල භූමියේ රැඳී සිටි පුද්ගලයින්ගේ සෞඛ්‍ය අවශ්‍යතා වෙනුවෙන් කටයුතු කළා.

මේ අතර ගාලුමුවදොර අරගල භූමියේ කූඩාරම් ගලවා ඉවත් කිරීමට අරගලකරුවන් කටයුතු කර තිබෙනවා.

ඒ අනුව අරගලකරුවන් ගාලුමුවදොර අරගලභූමියේ ඉදිකර තිබූ කූඩාරම් ගලවා ඉවත් කිරිමට කටයුතු කළා. කෙසේ වුවද එම භූමියේ ඊයේ රාත්‍රියේ පන්දම් විරෝධතාවක්ද පැවැත්වුණා. ජනාධිපති ලේකම් කාර්යාල ප්‍රදේශයට උද්ඝෝෂකයන් ඇතුළුවීම බාලදක්ෂ මාවත අසලින් අවහිර කර තිබෙනවා. කෙසේ වුවත් ගාලුපාරේ රථවාහන ගමනාගමනයට බාධාවක් නොමැති බවයි වාර්තා වෙන්නේ.