ශ්‍රී ලාංකිකයින්ගේ ප්‍රතිශක්තිය වැඩි නිසා කොරෝනාව සැඟවෙන බව සොයාගනී !

534

කොරෝනාවෙන් ඇමරිකා එක්සත් ජනපදයේ ඉකුත් දාහතර වැනිදා දිනය තුළදී පමණක් මියගිය ගණන දෙදහස් දෙසිය විසිඅටකි. මේ වෛරසයෙන්ඕනෑම රටක දිනක් තුළ මියගිය වැඩිම පිරිස එය විය. මේ ගණනත් සමග ඇමරිකාවේ කොරෝනා මරණ ගණන විසිඅටදහස් හාරසිය හතළිස් හයක් දක්වා නැග්ගේය. රෝගීන්ගේ ගණන හයලක්ෂය ඉක්ම වීය. ඇමරිකාවේ පමණක් නොව ඉතාලිය, එංගලන්තය, ස්පාඤ්ඤය වැනි බටහිර රටවල්වල තත්ත්වය ඇමරිකාවට දෙවැනි නැත. කෙසේ නමුදු කොරෝනාව ඇරඹුණු චීනයේ පවා මේ සා පුද්ගලයෝ මරණයට පත්වූයේ නැත. චීනය පමණක් නොව ලංකාව වැනි ආසියානු රටවල මේ වන විට රෝගීන් උපරිම මට්ටමට ළඟාවෙමින් සිටියද රෝගීන් සහ මරණ ගණන දහස් ගණනින් වාර්තා වන්නේ නැත.

කොරෝනා වෛරසය යුරෝපය සහ ඇමරිකා එක්සත් ජනපදයේ ජනතාවට පහර පිට පහර දුන්නද ආසියානු රටවලට එතරම් බලපෑමක් එල්ල නොකරන්නේ ඇයිද?

මෙම ආගන්තුක වෛරසය පිළිබඳ මෙතෙක් කිසිදු විශේෂඥයකුට හරිහමන් දෙයක් ප්‍රකාශ කළ නොහැකිය. මේ වනවිට රටවල් රැසක්ම මේ වෛරසය පිළිබඳව පර්‌යේෂණ ආරම්භ කර ඇතත් ඒවා අවසන් නොවීම මෙයට හේතුවයි.

එහෙත් කොරෝනා වෛරසය කාණ්ඩ තුනක් යටතේ ලොව පුරා සැරිසරන බවට මේ වන විට පර්‌යේෂකයන් තහවුරු කරගෙන තිබෙන බව කොළඹ වෛද්‍ය විද්‍යාලයේ ප්‍රවේණි විද්‍යාව පිළිබඳ මහාචාර්ය වජිර දිසානායක සඳහන් කරයි.

“කොවිඩ් 19 වෛරසය කාණ්ඩ තුනක් යටතේ මේ වන විට ලොව පුරා රටවල් රැසක සැරිසරනවා. එම කාණ්ඩ තුන පර්යේෂකයන්ගේ පහසුව තකා ඒ බී සහ සී යනුවෙන් නම් කරලා තියෙනවා. ඇමරිකාව හා යුරෝපා රටවල් වන ඉතාලිය, ස්පාඤ්ඤ, බ්‍රිතාන්‍ය වැනි රටවල් වල සැරිසරන්නේ කොවිඩ් ඒ සහ සී කාණ්ඩයන්ට අයත් වෛරස්. ඒ වගේම තමයි දකුණු ආසියානු කලාපයේ රටවල්වල සැරිසරන්නේ බී කාණ්ඩයේ වෛරස්. යුරෝපාකරයේ ජනතාවගේ ජානවලට ඒ සහ සී වෛරස් කාණ්ඩයන්ට ප්‍රතිරෝධයක් දක්වන්න බැහැ කියලා පර්‌යේෂකයින් හඳුනාගෙන තියෙනවා. ඒ නිසාම ඔවුන් පහසුවෙන් මේ වෛරස් කාණ්ඩ දෙකට ගොදුරුවෙනවා. මෙහිදී ඔවුන් මෙම කාණ්ඩ දෙකට දක්වන ප්‍රතිචාරය අනුව තමයි රෝගය වැලඳෙනවාද නැද්ද යන්න තීරණය වෙන්නේ. ඔවුන් දක්වන ප්‍රතිචාරය ප්‍රබල නම් වෛරසය ආසාදනය වුණත් රෝගය වැලඳෙන්නේ නැහැ. ඒත් ප්‍රතිචාරය දුර්වල නම් රෝගයට ගොදුරුවෙනවා. දුර්වලතාව වැඩිවීම හරහා එම පුද්ගලයා මරණය කරා ළඟා වනවා වන්න පුළුවන්. ඒත් දකුණු ආසියානු රටවල ජනතාවගේ ජානයන්ට කොවිඩ් බී වෛරසයට යම් ප්‍රතිරෝදයක් දැක්වීමේ හැකියාවක් පවතිනවා. ඒ නිසාම ආසියාතික රටවල ජනතාවට වෛරසය ආසාදනය වුණත් මිය යන සංඛ්‍යාවේ අඩුවක් පෙන්නුම් කරනවා. කොහොම නමුත් බී කාණ්ඩයේ වෛරසය යුරෝපීයන්ට ආසාදනය නොවීම ඔවුන්ගේ ජානමය සංයුතියේ බලපෑමක්ද යන්න පිළිබදව මේ වන විටත් පර්‌යේෂකයින්ගේ අවධානය යොමු වී තිබෙනවා.”

මෙම වෛරසයේ තිඹිරිගෙය වූ චීනයේ වෛරසයට විශාල සංඛ්‍යාවක් ගොදුරු වුණත් රෝගයෙන් මියගිය සංඛ්‍යාව යුරෝපා රටවල් හා සැසඳීමේදී ඉතා පහළ අගයක් ගනී. මහාචාර්ය වජිර දිසානායක පවසන විස්තර අනුව දකුණු ආසියාවේ රටවල් හා සැසඳීමේදී ශ්‍රී ලංකාව තුළ පවතින්නේ ඊට හාත්පසින්ම වෙනත් තත්ත්වයකි. මෙම වෛරසය ශ්‍රී ලංකාවට පැමිණියේ වෙනත් රටකිනි. ඒ අනුව වෛරසය පැතිර ගිය කාලය තුළදී අප රටට දකුණු ආසියාවේ රටවල් වලින් සහ යුරෝපාකරයේ රටවල් වලින් පැමිණි පුද්ගලයින්ගෙන් මෙම වෛරසය මෙරටට ඇතුළු වන්නට ඇති බවය. එසේ නම් යුරෝපයේ සිට වෛරසය ආසාදනය වූ පුද්ගලයෙකු මෙරටට පැමිණියේ නම් එය ඒ හෝ සී කාණ්ඩයට අයත් වෛරසයක් විය හැකිය. එසේම දකුණු ආසියානු රටකින් වෛරසය ආසාදනය වී පුද්ගලයෙකු පැමිණියේ නම් එය සී කාණ්ඩයේ වෛරසයකි. මේ අනුව මහාචාර්යවරයා පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාව තුළ මේ වන විට මෙම කාණ්ඩ තුනටම අයත් වෛරසයන් පැතිරෙනවා විය හැකි බවය.

“කොහොම නමුත් මේ වන විට මෙම වෛරස ගැන පරීක්ෂණය කරන නිසා අපිට ඉදිරි සතිය තුළදී නිවැරදිවම කියන්න පුළුවන් ශ්‍රී ලංකාවේ මිනිසුන්ට ආසාදනය වෙන්නේ කොවිඩ් වෛරසයේ කුමන කාණ්ඩයද යන වග. අපේ රටේ ජනතාවගේ ජාන සංයුතිය දකුණු ආසියාවේ අනෙකුත් රටවල ජනතාවගේ ජාන සංයුතියට බොහෝ දුරට සමානයි. අනික අපේ රටේ සමහර පුද්ගලයින්ට මෙම වෛරසය ආසාදනය වුණත් රෝග ලක්ෂණ මතුවෙන්නේ නැහැ. ඒ අයගේ ශරීරයේ එම වෛරසයට ඔරොත්තු දෙන්න පුළුවන් ප්‍රතිශක්තියක් තියෙන නිසයි. හැබැයි යම් හේතුවකින් ඒ පුද්ගලයාගේ ශරීරය දුර්වලවී ප්‍රතිශක්තිය පහත වැටුණොත් ආසාදනය වී තිබුණ වෛරසය යළි මතුවෙන්න පුළුවන්” යැයි මහාචාර්යවරයා අවධාරණය කරන්නේය.

සාමාන්‍යයෙන් වෛරස් රෝගයක් යම් පුද්ගලයෙකුට වැලඳුනහොත් ඔහුගේ ශරීරය තුළ එයට විරුද්ධව ප්‍රතිදේහ නිපදවේ. මෙහි ප්‍රතිඵලයක් වන්නේ එම වෛරසයට එම පුද්ගලයාගේ සිරුර නැවත ආසාදනය කළ නොහැකි බවකි. එහෙත් මේ නව වෛරසයේ ක්‍රියාකාරිත්වය කෙසේද යන්න පිළිබදව තවමත් නිවැරදි මතයක් ඉදිරිපත් කළ නොහැක්කේ මේ පිළිබදව පර්‌යේෂකයින් තවදුරටත් පර්‌යේෂණ කරමින් සිටින බැවිනි. කෙසේ නමුත් කොරෝනාව වැලඳී සුව වී සිටි දකුණු කොරියාවේ පුද්ගලයින් කීපදෙනෙකුටද නැවත එම වෛරසය ආසාදනය වී ඇති බවක් වාර්තාවේ. එකම පුද්ගලයෙකුට නැවත නැවත මේ වෛරසය ආසාදනය විය හැකිද යන්න පිළිබඳව මහාචාර්ය වජිර දිසානායකගේ මතය වූයේ දකුණු කොරියානු පුද්ගලයින්ට දෙවන වරට වෛරසය ආසාදනය වී ඇති බව ප්‍රකාශ කළද ඔවුන් රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේද නැද්ද යන වග පැහැදිලිව සටහන් කර නොතිබුණු බවකි.