ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තේරීමේ සහ කණ්ඩායමේ වගකීම් විරහිත පිතිකරණ විලාශය පිළිබඳ ප්‍රවීණ දෙස් විදෙස් ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ දැඩි විවේචන එල්ල වෙයි.
මෙරට ක්‍රිකට් ක්‍රීඩාව ගැඹුරු අගාධයක වැටී තිබෙන බව හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර මහතා සඳහන් කරන අතර,එංගලන්ත හිටපු ක්‍රිකට් නායක නසාර් හුසේන් පවසන්නේ ශ්‍රී ලංකාව වැනි ක්‍රිකට් ක්‍රීඩාවේ සාඩම්බර ඉතිහාසයක් ඇති රටක වත්මන් ක්‍රීඩකයන්ගේ පිතිකරණය විස්තර කිරීමට මොළයක් නැති,පිස්සු,හාස්‍යජනක වැනි වචන ගොඩක් ඇති බවය.
ශ්‍රී ලංකාවේ පළමු පෙළ තරග සැකැස්ම මඟින් වඩාත් හොඳ පිතිකරුවන් නිර්මාණය නොකරන නිසා මෙවැනි තත්ත්වයක් උද්ගතව ඇති බව සංගක්කාර මහතා වීඩීයෝ තාක්ෂණය ඔස්සේ මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින් සඳහන් කළේය.
“ඒක හරිම දුර්වල පිති හරඹයක්. ඕනෑම ඉනිමක් ගත්තොත්,පිතිකරුවන් එක්කෙනෙක් හෝ දෙන්නෙක්,දුර්වල පහරවලින් දැවී යනවා.සමහර වෙලාවට දුර්වල පහරක් ගහලා අවුට් වුණා කියලත් අපි කියනවා.ඒත් හැම දෙනාම වාගේ එකම වැරැද්ද කරනවා.ටෙස්ට් තරගයක පළමු ඉනිමේදී එහෙම වුණාම බරපතළ තත්ත්වයක් නිර්මාණය වෙනවා.තරගයට යන්න ඉස්සරවෙලාම පෙනුණු දෙයක් තමයි ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරු ලැයිස්තුවම ටෙස්ට් තරගයකට මුහුණ දෙන්න තරම් සංවිධානාත්මක තත්ත්වයක නැති බව. ඔවුන්ගේ ක්‍රියාකාරකම්,නැත්නම් තාක්ෂණය සම්බන්ධයෙන් ඔවුන්ට පාලනයක් තිබුණේ නෑ. කිසි කෙනෙක් ඒ තත්ත්වයේ හිටියේ නෑ.
සන්සුන්ව,බුද්ධිමත්ව තීරණ ගත යුතු වෙලාවලදීත්,උමතුවෙන් වගේ තීරණ ගත්ත ආකාරයක් දකින්න ලැබුණා.සමස්තයක් වශයෙන් තාක්ෂණයේදී සූදානම් වීමේදී නැත්නම් තීරණ ගැනීමේදී වුණත්,ශ්‍රී ලංකා කණ්ඩායම ඉතාමත් දුර්වල මට්ටමක හිටියේ”යනුවෙන් කුමාර් සංගක්කාර පැවසීය.
“අර්බුදය ගැඹුරටම ගිලා බැහැලා.සහතික වශයෙන්ම මේක අහම්බයක් නෙමේ.මම කියන්නේ මේකට හේතුව වඩාත් උසස් තත්ත්වයේ ක්‍රිකට් ක්‍රීඩාවක් ශ්‍රී ලංකාවේ නැති වීමයි.අපි කාලයක් තිස්සේ ඉතාමත් දක්ෂ ක්‍රීඩකයන් රැසක්ම බිහි කළා.ඒත් හිටි හැටියේම ඒ වගේ අය නිර්මාණය වෙන්නේ නැත්නම්,මේ තියෙන ක්‍රමවේදයේ ගැටලුවක් දක්නට ලැබෙනවා.සෑහෙන කාලයක් අපි දක්ෂතා නිර්මාණය වන දිහා බලාගෙන හිටියා.ඒත් ඒවා වඩාත් දියුණු තත්ත්වයට පත්වෙලා නෑ”
එංගලන්ත හිටපු ක්‍රිකට් නායක නසාර් හුසේන් අතීතය ස්මරණය කරමින් සඳහන් කළේ ශ්‍රී ලංකාවෙන් බිහි වූ විශිෂ්ටයන් වන සිදත් වෙත්තමුණි,අර්ජුන රණතුංග,මාවන් අතපත්තු,සනත් ජයසූරිය,මහේල ජයවර්ධන,වැනි ක්‍රීඩකයන්ට මේ දුර්වල පිති හරඹය දකින විට කුමක් හැඟෙනු ඇත්දැයි තමන්ට ප්‍රශ්නයක් බවය.
ටෙස්ට් තරගයක මෙවැනි දුර්වලම පිති හරඹයක් දුටු පළමු අවස්ථාව මෙය බවත්,ටෙස්ට් තරගයක පළමු දිනයේදී මුහුණ දෙන ආකාරය තරගයක් පරාජය වීමට බලපෑම් ඇති කරන බවත් හෙතෙම පෙන්වා දුන්නේය.
“දකුණු අප්‍රිකාවේ ක්‍රීඩා කළ ආකාරය ගැන මට විශාල අනුකම්පාවක් ඇති වුණා.ඔවුන්ට සිදු වූ ආබාධ ප්‍රමාණය පරාජයට හේතුවක් වුණා. එහෙත් ගාල්ලේ ශ්‍රී ලංකා – එංගලන්ත පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ශ්‍රී ලංකා පිතිකරුවන් රැස් කළ ලකුණු සංඛ්‍යාව ලැජ්ජාසහගතයි.වත්මන් ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ දක්ෂතා සාඩම්බර ක්‍රිකට් ජාතියක් වූ ශ්‍රී ලංකාව වැනි රටකට සුදුසු වන්නේ නෑ.පිතිකරුවන්ට වාසිදායක තණතිල්ලක ලකුණු 135ක් ගැනීම අනුකම්පා කරන්න පුළුවන් දෙයක් නොවෙයි.ශ්‍රී ලංකාව ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කිරීමට නුසුදුසු කණ්ඩායමක් බවට පත් වෙලා.ශ්‍රී ලංකා ඉනිමේ අනවශ්‍ය පහරවල් පැටව් ගසා තිබුණා” නසාර් හුසෙන් සඳහන් කළේය.
“මතක තබා ගන්න,පන්දුවට පහර දුන් සමහරක් හොඳ පළපුරුදු පිතිකරුවන්. ළහිරු තිරිමාන්න,කුසල් පෙරේරා,දිනේෂ් චන්දිමාල් සහ ඇන්ජලෝ මැතිව්ස් වගේ අය.ටෙස්ට් තරගයකදී දීර්ඝ කාලයක් පන්දුවට පහර දීමත්, කඩුල්ලේ රැඳී සිටීමත්,ලකුණු රැස් කිරීමත් කළ යුතුයි. ජෝ රූට් සහ ජොනි බයර්ස්ටෝ පළමු ඉනිමේ දුන් හවුල්කාරිත්වය ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට හොඳ ආදර්ශයක් වුණා”හුසේන් පැවසීය.“දවස් පහක් ක්‍රීඩා කළ යුතුව තිබියදී හැමෝම මෙතරම් කඩිමුඩියේ සිටින්නේ මන්දැයි මට තේරෙන්නේ නෑ. සෙමෙන් වටේට තට්ටු කර කඩුල්ලේ සිටියා නම් ලකුණු ලැබෙනවා.බේස් සහ ජැක් ලීච් වැනි අත්දැකීම් අඩු දඟ පන්දු යවන්නන්ට කඩුලු තෑගි කළා.ශ්‍රී ලංකා පිතිකරුවන් ටෙස්ට් ක්‍රිකට් සඳහා රිද්මයක් සොයා ගත යුතුයි.සිදත්,අර්ජුන,අරවින්ද,මාවන්,හෂාන්,මහේල,සංගක්කාර වැනි අතීත ක්‍රීඩකයන් කළේ එයයි”එංගලන්ත හිටපු ක්‍රිකට් නායකයා සඳහන් කළේය.