ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට නව පිතිකරණ පුහුණුකරුවෙක්

400

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු වන ග්‍රාන්ට් ෆ්ලවර් හට එංගලන්ත සංචාරයෙන් අනතුරුව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමඟ ඔහුව නිරෝධායනයට ලක් කර තිබෙනවා.

ඒ හේතුවෙන් ඔහුට එළැඹෙන ඉන්දීය තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරණ කටයුතු සඳහා සම්බන්ධ වීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ.

මේ නිසා ඇතිවන තත්ත්වය මඟ හරවා ගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් තාවකාලිකව නව පිතිකරණ පුහුණුකරුවෙකු සම්බන්ධ කරගෙන ඇති බවට ක්‍රීඩා ආරංචි මාර්ග සඳහන් කර තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා වයස අවුරුදු 19 පහළ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වශයෙන් කටයුතු කරන ගාල්ල ‍රිච්මන්ඩ් විද්‍යාලයේ හිටපු ප්‍රධාන පුහුණුකරුවෙකු ද වන ධම්මික සුදර්ශන මහතාව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව තාවකාලික පුහුණුකරු වශයෙන් නම් කර තිබෙනවා.

ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය නියෝජනය කරමින් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට පිවිසි විශිෂ්ඨ ක්‍රීඩකයන් වන ධනංජය ද සිල්වා,වනිදු හසරංග,චරිත් හසලංක,කමිදු මෙන්ඩිස් සහ ධනංජය ලක්ෂාන් යන ක්‍රීඩකයන් ධම්මික සුදර්ශන මහතා යටතේ පුහුණුව ලැබූ ක්‍රීඩකයන් බවත් සඳහන්.

1995 වර්ෂයේ දී පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩාව සඳහා පිවිසෙන ධම්මික මහතා එහිදී පළමු පෙළ තරඟ 129කදී ලකුණු 5280ක් රැස් කරගෙන තිබෙනවා.

එමෙන්ම A කණ්ඩායම නියෝජනය කරමින් තරඟ 62ක් ක්‍රීඩා කර ඇති අතර එහිදී ඔහු ලකුණු 1348ක් රැස්කර ගෙන තිබෙනවා.

ධම්මික සුදර්ශන මහතා තුන් ඉරියව්වෙන්ද දස්කම් දක්වා තිබෙන බවත් සඳහන් කළ යුතුයි.