ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඉන්නවාද? නැද්ද? තීරණය කරන්න පැය 36ක් දෙයි

791

කොන්ත්‍රාත් ගිවිසුමේ ඇති වැටුප් පිළිබඳව අර්බුදයක් හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් තවමත් ගිවිසුම් අත්සන් කර නැහැ.

ඔවුන් එංගලන්ත සංචාරයේ නිරත වුණේ ද මෙම කිසිදු ගිවිසුමක් අත්සන් නොකරයි.

“ටයිම්ස් ඔෆ් ඉන්ඩියා” පුවත්පත වාර්තා කර ඇති අන්දමට ගිවිසුම් අත්සන් නොකර ඇති ක්‍රීඩකයන්ට මේ වන විට රතු නිවේදනයක් ලබා දී තිබෙනවා.

ක්‍රිකට් ආයතනය විසින් නිකුත් කර ඇති රතු නිවේදනය අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් කොන්ත්‍රාත් ගිවිසුම අත්සන් කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් වෙත පැය 36ක කාලයක් ලබාදී තිබෙනවා.

මෙම කාලය තුළ ගිවිසුම අත්සන් නොකළහොත් ඔවුනට ඉදිරි ඉන්දීය තරඟාවලියට සහභාගී විය නොහැකි බවයි සඳහන් වන්නේ.ගිවිසුම අත්සන් කිරීමේ කාලය ජූලි මස 08 වැනිදායින් අවසන් වීමට නියමිතව තිබෙනවා.

මේ වන විටත් ගිවිසුම අත්සන් කරන ලද ක්‍රීඩකයන් 13 දෙනෙකු ජෛව ආරක්ෂණ බුබුළක් තුළ සිය පුහුණු වීම් ආරම්භ කර තිබෙන අතර ඒ සඳහා වත්මන් කණ්ඩායම නියෝජනය කරන සංචිතයේ කිසිදු ක්‍රීඩකයෙකු ඇතුළත් වී නැහැ.

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ප්‍රමෝද් වික්‍රමසිංහ මහතා පවසා සිටියේ ක්‍රීඩකයන් අත්සන් නොකළහොත් දැනට කොන්ත්‍රාත් ගිවිසුම අත්සන් කර ඇති ක්‍රීඩකයන් 39 දෙනාගෙන් කණ්ඩායමක් නිර්මාණය කර ඉන්දීය තරඟාවලිය සඳහා සහභාගී වන බවයි.