ශ්‍රී ලංකාවේ කොරෝනා මර්දන වැඩපිළිවෙළ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයීමට

235

ලෝක සෞඛ්‍ය සංවිධානයේ නව ශ්‍රී ලංකා නේවාසික නියෝජිත ආචාර්ය අලාකා සිං මහත්මිය ඊයේ 01 සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී සෞඛ්‍ය අමාත්‍ය පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මිය හමුවී විශේෂ සාකච්ඡාවක් පැවැත්වූවාය.

මෙහිදී සෞඛ්‍ය අමාත්‍ය පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මිය කියා සිටියේ කොවිඞ් මර්දන වැඩපිළිවෙළේදී ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ශ්‍රී ලංකාවට ලබාදුන් සහය ඉතා අගය කොට සලකන බවයි.

විශේෂයෙන් එන්නත්කරණ වැඩසටහනේදී ලෝක සෞඛ්‍ය සංවිධානය,ශ්‍රී ලංකාවට ප්‍රමුඛතාවය දී කොවැක්ස් ව්‍යාපෘතිය මගින් එන්නත් ලබාදීම සෞඛ්‍ය අමාත්‍යවරිය ලෙස ශ්‍රී ලංකා ජනරජයේ කෘතවේදී ස්තුතිය පළ කරන බවද පැවසුවාය.

ආචාර්ය අලාකා සිං මහත්මිය පැවසූයේ ශ්‍රී ලංකාවේ කොවිඞ් මර්දනය සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් දියත් කර ඇති වැඩපිළිවෙළ ලෝක සෞඛ්‍ය සංවිධානය ඉතා අගය කරන බවයි.එබැවින් ශ්‍රී ලංකාවේ නියෝජිතවරිය ලෙස කොවිඞ් මර්දනය සඳහා අවශ්‍ය සියලූ සහය ලබාදීමට කැපවෙන බවද අලාකා සිං මහත්මිය පැවසුවාය.

මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ සැලසුම් ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය ඇලන් ලූඩෝවයිඞ් සහ අමාත්‍යවරියගේ පෞද්ගලික ලේකම් කංචන ජයරත්න යන මහත්වරු සහභාගි වූහ.