BREAKING NEWS
Search

වෙළඳපොළේ පිළිකා කාරක ආහාර තියෙනවා කිව්ව නම් ජනතාව බය වෙනවා

222

මෙරට සමාගම් තුනක් ‌පිළිකා කාරක පොල්තෙල් මෙරටට ආනයනය කිරීම සම්බන්ධයෙන් මේ වන විට මහත් ආන්දෝලනයක් පවති. ආනයනික ආහාර ද්‍රව්‍ය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර ආරක්ෂණ ඒකකය ඉටුකරන කාර්ය භාර්ය අති විශාලය. වස විස අඩංගු ආහාර පාන මෙරටට ඇතුළු වීම සම්පූර්ණයෙන්ම තහනම් කිරීමේ වගකීම පැවරී ඇත්තේ මොවුන්ටය. රටේ ආහාර බලධරයා වන්නේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාය. මේ ඔහු යට‌‌තේ පවතින ආහාර ආරක්ෂණ ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය තිලක් සිරිවර්ධන මහතා සමග අප කළ සම්මුඛ සාකච්ඡාවකි.

• පිටරටින් ගෙන්වූ පිරිපහදු නොකළ පොල්තෙල්වල පිළිකා කාරක තිබේ යැයි සොයාගැනීමත් සමග මෙරට ජනතාවට පිටරටින් ගෙන්වන ආහාරවල ප්‍රමිතිය සම්බන්ධයෙන් ගැටලු පැන නැගී තියෙනව. පිටරටින් ගෙන්වන ආහාරවල ප්‍රමිතිය සොයාබැලීමේදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර ආරක්ෂණ ඒකක සිදුකරන කාර්යභාරය කුමක්ද?

පරි‌භෝජනය කරන ආහාරයක් වෙළෙඳාම සඳහා මෙරටට ආනයනය කරන විට එය මිනිස් පරිභෝජනයට සුදුසුද නැද්ද කියලා හොයා බලන එකයි ආහාර ආරක්ෂණ ඒකකයේ කාර්ය භාර්යය.

• ආහාර පරීක්ෂා කිරීම සඳහා භාවිත කරන්නේ මොනවගේ ක්‍රමවේදයක්ද?

ඇතැම් ආහාර ද්‍රව්‍ය බැලූ බැල්මට කියන්න පුළුවන් මේ ආහාරය මිනිස් පරිභෝජනයට සුදුසුද? නැද්ද? කියලා. උදාහරණයක් ලෙස කියනවා නම් සහල්, අල, ලූනු, මිරිස් වගේ දේවල් බැලූ බැල්මට කියන්න පුළුවන්. මේවගේ වර්ණය වෙනස් වෙලා තියෙනවා, පුස් බැඳිලා තියෙනවා, සහල් නම් කැඩී තියෙනවා, අල, ලූනු වගේ නම් නරක්වෙලා තිබෙනවා. ඒ වගේම දුර්ගන්ධයක් පිටවෙනවා.

ඒ වගේම තමයි බැලූ බැල්මට කියන්න බැරි ආහාර ද්‍රව්‍ය අපි රසායනාගාර තුනකට යවනවා. රජයේ රස පරීක්ෂකට, කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ තිබෙන මහජන සෞඛ්‍ය රසායනාගාරය, වෛද්‍ය පර්‌යේෂණාගාර රසායනාගාරය සහ පිළිගත් පෞද්ගලික රසායනාගාර දෙකකට යවනවා. එසේ යවන ආහාර ද්‍රව්‍ය මිනිස් පරිභෝජනයට සුදුසුද නැද්ද කියලා තහවුරු කර ගන්නවා. මිනිස් පරිභෝජනයට සුදුසු නැහැ කියලා රසායනාගාර පරීක්ෂණයන්ගෙන් තහවුරු වුණොත් අපි ඒවා රට ඇතුළට ඒම වළක්වනවා. ඒ විතරක් නොවෙයි ඒවා ප්‍රතිඅපනයනය කරනවා.

• රසායනාගාර පරීක්ෂණයන් සඳහා නියැදි ලබා දෙන්නේ කෙසේද?

මුලින්ම අපි කරන්නේ පරීක්ෂා කළ යුතු ආහාර ද්‍රව්‍යයේ සාම්පලයක් ලබා ගන්නවා. ඒක ලබා ගන්නත් ක්‍රමයක් තියෙනවා. උදාහරණයක් විදිහට කියනවා නම් මුංඇටවලින් සාම්පලයක් ලබා ගන්නවා නම් කන්ට්‍රේනරයේ ස්ථාන කීපයකින් ගෝනි කීපයක් අරගෙන ඉන් හැම එකකින්ම මුංඇ‌ට ටික ටික අරගෙන එකට කවලම් කරලා තමයි සාම්පලය හදාගන්නේ. ඒක හරියට දෙකට බෙදලා එකකොටසක් සීල් කරලා වරාය තුළ තියෙන සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර පාලන ඒකකයේ තියාගන්නවා ඉතිරි කොටස සීල් කරලා රසායනාගාරය වෙත යොමු කරනවා‍.

• වරාය තුළ තියෙන ආහාර ආරක්ෂණ ඒකකයක් තුළ සීල් කළ සාම්පලය තබා ගන්නේ ඇයි?

මොනයම් හේතුවකින් අපනයනකරුවන් අභියාචනයක් ඉදිරිපත් කළොත් මේ ආහාර සම්බන්ධයෙන් නැවත පරීක්ෂා කරන්න කියලා, එහිදී අපේ ළඟ සීල් කරලා තබා ගත් නියඳිය පිළිගත් අනුමත රසායනාගාරයක් වෙත පරීක්ෂා කරන්න යවලා පරීක්ෂා කර ගන්නවා‍.

• දෙවැනි වරටත් යවන්නේ පළමු රසායනාගාරවලටමද?

නැහැ. දෙවැනි වරට යවන්නේ මුල්වරට යැවූ රසායනාගාරයන් වෙත නොවේ. ආහාර පනත යටතේ පිළිගත් අනුමත වෙනත් රසායනාගාරයක් වෙත.

• පළමු වරට රසායනාගාර පරීක්ෂණයෙන් අසමත් වුණ ආහාර ද්‍රව්‍යයක් දෙවැනි වර වෙනත් රසායනාගාරයක පරීක්ෂණයකින් සමත් වෙන්න පුළුවන්ද?

ඇත්තටම එහෙම වෙන්නෙම නැති තරම්. මුලින් රසායනාගාර පරීක්ෂණයෙන් මුල්වටයේ අසමත් වුණ ආහාර ද්‍රව්‍යයක් දෙවැනි වටයේ සමත් වෙන්නේම නැති තරම්.

• එහෙම අසමත් වුණ ආහාර ද්‍රව්‍ය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර ආරක්ෂණ ඒකකය ක්‍රියාත්ම වන්නේ කොහොමද?

අපි කරන්නේ මෙවැනි ආහාර ද්‍රව්‍ය රට තුළට ඇතුළු කර ගන්න ඉඩ නොදී රේගුව හරහා වහාම ප්‍රතිඅපනයනය කරනවා. එහෙම නැතිනම් විනාශ කිරීම සඳහා නිර්දේශ කරනවා.

• ඔබ කියන පරිදි මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාරපාන රට තුළට ඇතුළු වීමට දෙන්නේම නැතිද?

කොහෙත්ම නැහැ. අපි අපේ වගකීම හා කාර්ය භාර්ය හොඳටම හඳුනාගෙන තියෙනවා. ඒ නිසා අපේ වගකීම නිවැරැදිව ඉටුකරනවා. ආහාර පනත මගින් අපට ලැබී තිබෙන බලතල මහජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් අපිට හිමිවෙලා තියෙන බලතල උපරිමයෙන් ප්‍රයෝජනයට ගන්නවා. අපේ සීමාවේ සිට අප ක්‍රියාත්මක වෙනවා. රට තුළට මෙවැනි ආහාර ද්‍රව්‍ය ඇතුළු කර ගන්නේ නැහැ. සාමානයෙන් නිෂ්පාදිත ආහාරයක් මෙරටට ගෙන ඒමේදී එම ආහාරයේ අන්තර්ගතව පවතින දේවල් පිළිබඳව ලේබලයේ සටහන් තැබිය යුතුයි‍. එම ආහාරයේ අන්තර්ගත රසකාරක වර්ණකාරක ඇතුළු ආහාරය නිෂ්පාදනය කිරීමට යොදාගත් සියලුම අමුද්‍රව්‍ය ලේබලයේ සටහන් කළ යුතු වෙනවා. එහෙම ලේබලයේ සඳහන් කර තිබෙන වර්ණකාරකයක් හෝ රසකාරකයක් මෙරට අනුමත කර නැතිනම් එවැනි ආහාරයකට හෝ අපි ඇතුළු වීමට ඉඩ ලබාදෙන්නේ නැහැ‍.

• සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර ආරක්ෂණ ඒකකය මෙතරම් වගකීමෙන් වැඩ කළා නම් මිනිස් සිරුරට අහිතකර පිළිකාකාරක පොල්තෙල් වෙළෙඳපොළට නිකුත් වුණේ කොහොමද?

ඇත්තෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර ආරක්ෂණ ඒකකයට ඇඟිල්ල දිගු කරනවා නම් ඒක වැරදියි. මොකද අපි අපේ වගකීම හරියටම ඉටුකළා. ඒ කියන්නේ රසායනාගාර පරීක්ෂාවන්ගෙන් පසුව ඒ පොල්තෙල් පිළිකාකාරකයි කියලා තහවුරු වුණා. ඉන් පසුව අපි ඒවා රටතුළට ඇතුළු වීම තහනම් කරලා නැවත එය ප්‍රතිඅපනයන සඳහා රේගුව භාරයේ තැබුවා. ප්‍රතිඅපනයනය කරන තෙක් හෝ විනාශ කරන තෙක් එය රේගුව භාරයේ තමයි තබාගන්නේ. රේගුව කියන්නේ තවත් එක් රාජ්‍ය ආයතනයක්. ඔවුන් ආහාර කමිටුව නියෝජනය කරන පාර්ශ්වයක්. ඒ නිසා ඔවුන්ගේ කාර්යභාර්ය නිවැරැදිව කිරීම ඔවුන්ගේ වගකීමක්.

• රටේ ආහාර බලධරයා ලෙස ක්‍රියා කරන්නේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා. ඔබ ආහාර ආරක්ෂණ ඒකකයේ අධ්‍යක්ෂවරයා සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදෙස් නිසි පරිදි රේගුව පිළිනොපැදීම සම්බන්ධයෙන් නීතිමය පියවරක් ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශයට හැකියාවක් නැතිද?

අහිතකර ආහාරයක් හෝ වෙනත් භාණ්ඩයක් රට තුළට ඇතුළු කිරීම තහනම් කරමින් අපි රේගුවට එය භාරදුන්නාට පසුව නැවත අපි ඒ පිළිබඳව සොයා බැලීමක් කරන්නේ නැහැ. ඒ අය ඒ අයගේ බලතල මත ක්‍රියාත්මක විය යුතුයි.

කොහොම නමුත් එම ආයතනයට නීතිමය ක්‍රියාමාර්ගයක් ගැනීමට ආහාර ආරක්ෂණ කමිටුවේ ප්‍රතිපාදනයන් තියෙනවාද කියන වග සොයා බැලීමක් කළ යුතු වෙනවා.

• ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරිය සඳහන් කරනවා ඇෆ්ලටොක්සීන් අන්තර්ගත තවත් බොහෝ ආහාර ද්‍රව්‍ය වෙළෙඳපොළ තුළ තිබෙනවා කියලා. මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර ආරක්ෂණ කමිටුව දැනුවත්ද?

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශය සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර ආරක්ෂණ ඒකකය දැනුවත් කරලා නැහැ. ඒ නිසා ඇය කියන ආහාර ද්‍රව්‍ය වෙළෙඳපොළේ තියෙනවද කියලා අපි දන්නේ නැහැ‍.

• ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරිය සඳහන් කරන ආහාර ද්‍රව්‍ය හැරුණු කොට ආහාර ආරක්ෂණ ඒකකය දැනුවත්ව වෙළෙඳපොළේ පිළිකා කාරක ආහාර වර්ග තියෙනවාද?

ඔව්. ඇතැම් ආහාර සම්බන්ධයෙන් අපි කළ රසායනාගාර පරීක්ෂණයන් මගින් ඇෆ්ලටොක්සීන් අන්තර්ගත ආහාර තිබුණා. අපි වහාම ක්‍රියාත්මක වෙලා ඒ වගේ ආහාර ද්‍රව්‍ය තහනම් කරලා වෙළෙඳපොළේ අලෙවියෙන් ඉවත් කළා. ඒ විතරක් නෙවෙයි නීතිමය ක්‍රියාමාර්ගයන් ගත් අවස්ථාවන්ද තිබෙනවා. කොහොම නමුත් දේශීය නිෂ්පාදකයාව කඩාවට්ටන්නත් අපිට බැහැ. ඒ නිසා ඔවුන්ට නිවැරැදි ආහාරය නිෂ්පාදනය කරන්න කාලයක් ලබා දෙනවා. එහෙම නිෂ්පාදනය කළාට පසුව ඒ කියන්නේ මිනිස් පරිභෝජනයට සුදුසු පරිදි නිෂ්පාදනය කළාට පසුව ඒ පිළිබඳව නැවත පරීක්ෂා කරලා සුදුසු නම් වෙළෙඳපොළට නිකුත් කරන්න අවසර ලබාදී තිබෙනවා.

Aflatoxin Timeline – ICRISAT

• ඒ වගේ අහුවුණ දේශීය කර්මාන්තයක් ගැන සඳහන් කරන්න පුළුවන්ද?

ඔව් පුළුවන්. දේශීය පොල්තෙල් කර්මාන්තය තුළ එවැනි තත්ත්වයක් දක්නට ලැබෙනවා. නිසි ප්‍රමිතියකින් යුතු කොප්පරා පොල්තෙල් නිෂ්පාදනයට ලබා නොගත් නිසා පොල්තෙල්වල ඇෆ්ලටොක්සීන් පිළිකා කාරකය අන්තර්ගත වුණා. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වෙළෙඳපොළ අලෙවි වන භාණ්ඩ සම්බන්ධයෙන් දිගින් දිගටම පරීක්ෂා කිරීම කරනවා. අපි අපේ කාර්යභාරය නොපිරිහෙළා ඉටුකරනවා. ඒ නිසා මීට වසර පහකට පමණ පෙර වෙළෙඳපොළේ තිබුණ ඇෆ්ලටොක්සීන් පිළිකා කාරකය අන්තර්ගත ප්‍රමාණය අද බොහෝ දුරට අඩුවෙලා. අද ආහාරවල තිබෙන ප්‍රමාණය ඉතාමත් අඩුයි.

• ආහාර ද්‍රව්‍යවල තිබෙන ඇෆ්ලටොක්සීන් ප්‍රමාණය අඩුයි කියන්නේ එය බිංදුව දක්වා අඩු කරන්න බැරිද?

එහෙම කරන්න පුළුවන්කමක් නැහැ‍. ඇෆ්ලටොක්සීන් ශරීරයට අහිතකර වන ප්‍රමාණයක් තියෙනවා. ඒ ප්‍රමාණයට වඩා අඩුවෙන් තිබෙන ආහාර පමණයි අපි අලෙවිය සඳහා අවසර ලබා දෙන්නේ, නමුත් පොල්තෙල් ගෙදරම හදාගන්නවා නම් පමණක් ඇෆ්ලටොක්සීන් බිංදුව දක්වා අඩුකර ගන්න පුළුවන්.

• වෙළෙඳපොළ තුළ පිළිකා කාරක ද්‍රව්‍ය අන්තර්ගත භාණ්ඩ අ‍ලෙවි වූ බව දැන ගත්තත් ඒ පිළිබඳව ජනතාව දැනුවත් කරන්න කටයුතු කළේ නැහැ නේද?

මේ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කළා නම් ඔවුන් බියට පත්වෙනවා. නමුත් අපි කළේ වඩාත් නිවැරැදි ක්‍රමයක්. ඒ තමයි අදාළ පිළිකාකාරක නිෂ්පාදනයන් වෙළෙඳපොළෙන් වහාම ඉවත් කළා‍. අදාළ නිෂ්පාදිතයන් සම්පූර්ණයෙන්ම නතර කිරීම සඳහා නියෝග කළා. එහෙම කරලා ඔවුන්ගේ නිෂ්පාදන වඩාත් සෞඛ්‍ය ආරක්ෂිතව නිෂ්පාදනය කරන්න අවස්ථාව ලබා දුන්නා. ඒ විතරක් නෙවෙයි ඒ නිෂ්පාදනයන් වෙළෙඳපොළට නිකුත් කරන්න කලින් අපි කීප වරක්ම රසායනාගාර පරීක්ෂාවන් කරලා එහි සෞඛ්‍යට අහිතකර කිසිවක් අන්තර්ගතවෙලා නැහැ කියලා තහවුරු වීමෙන් පසුව තමයි වෙළෙඳපොළ අලෙවිය සඳහා නිකුත් කළේ. ඔබ කියන පරිදි මුලින්ම ජනතාව දැනුවත් කළා නම් ‍ඔවුන් තුළ දැඩි කලබලකාරී තත්ත්වයක් මතුවෙනවා. ඒක වළක්වන්න බැහැ.

• නමුත් ජනතාව දැනුවත් නොකිරීම තුළ ඔවුන් නොදැනීම වස පොඩ්ඩක් කැවෙනවා නේද?

කොහොමත් ඇතැම් ආහාරවල ඇෆ්ලටොක්සීන් පිළිකා කාරයක අන්තර්ගත වෙනවා. ඒවා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමත ප්‍රමාණයන් හෝ ඊට වඩා අඩුවෙන්. කොහොම නමුත් අපි වෙළෙඳපොළ ආහාර ද්‍රව්‍ය නිරන්තරයෙන්ම පරීක්ෂාවට ලක් කරනවා. ඒවායේ විස කාරකයක් අන්තර්ගත නම් වෙළෙඳපොළෙන් ඉවත් කරන්න වහාම කටයුතු කරනවා. ඇෆ්ලටොක්සීන් අනුමත ප්‍රමාණයන්ටත් වඩාත් බොහෝම අඩුවෙන් තමයි අපේ ආහාරවල තියෙන්නේ. මොකද එය බිංදුව දක්වා අඩුකරන ගන්න වෙළෙඳපොළ තුළ හැකියාවක් නැහැ. මම ඒකයි මුලිනුත් කීවේ එය බිංදුව දක්වා අඩුකර ගන්න නම් ගෙදර පොල්තෙල් හිඳගන්න කියලා‍.

• සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර ආරක්ෂණ කමිටුව ආයතන කීපයක් නියෝජන කරනවා. ඔබ ඒකකය නිසි ලෙස ක්‍රියා කළත් අනෙකුත් ආයතන මහජනයාගේ සෞඛ්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන්නේද යන්න සොයා බැලීම සඳහා ආහාර බලධරයා ලෙස කටයුතු කරන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට හැකියාවක් නැතිද?

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර කමිටුව ආයතන ගණනාවක් නියෝජනය කරනවා. ඒ සියලුම ආයතන සහයෝගයෙන් කටයුතු කරනවා, කොහොම නමුත් මේ ආයතන අපි දැනුවත් කළාට පසුව ඔවුන් ක්‍රියාත්මක වූ බවට අපිට වාර්තාවන් ඉදිරිපත් කරනවා. මෙම ආයතන සම්බන්ධයෙන් සොයා බලා නීතිමය කටයුතු කිරීමේ හැකිව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට තිබෙනවාද යන්න පිළිබඳව සොයා බැලීමක් කළයුතු වෙනවා.

•සටහන – ශ්‍රියානි විජේසිංහ