විස්සයි විස්ස ලීග තරඟ ජාත්‍යන්තර ක්‍රිකට් වලට බාධාවක් – Du Plessis

1113

ලොව පුරා ක්‍රියාත්මක වන විස්සයි විස්ස ලීග් තරග ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවට විශාල තර්ජනයක් බවට හිටපු දකුණු අප්‍රිකානු නායක ෆැෆ් ඩුප්ලේසිස් අදහස් දක්වා ඇත. ඔහු ප්‍රකාශ කොට ඇත්තේ ක්‍රීඩාව හා සම්බන්ධ පරිපාලකයන් ජාත්‍යන්තර හා ලීග් ක්‍රිකට් අතර සමබරතාවයක් ඇති කිරීමට කටයුතු කළ යුතු බවයි.

” විස්සයි විස්ස ලීග් තරග ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවට විශාල තර්ජනයක්. ලීග් ක්‍රිකට් ආධිපත්‍යය වසරින් වසර ගොඩනැගෙනවා. පෙර කාලයේ ලොවපුරා පැවතියේ ලීග් තරගාවලි 2ක් පමණ වගේ. නමුත් අද වන විට වසරකට ලීග් තරගාවලි 6,7ක් පැවැත්වෙනවා.” යනුවෙන් ෆැෆ් ඩුප්ලේසිස් අදහස් පළ කොට ඇත.

කොවිඩ් අවදානම හේතුවෙන් අතරමග නවතා දැමුණු පාකිස්තාන සුපර් ලීග් තරගාවලියට එක්වෙමින් ෆැෆ් ඩුප්ලේසිස් මෙම අදහස් දක්වා ඇත. තරගාවලිය නැවතත් ජුනි මස 9වනදා ආරම්භ වීමට නියමිත අතර ෆැෆ් ඩුප්ලේසිස් එහිදී පේශාවර් සල්මි කණ්ඩායම නියෝජනය කිරීමට නියමිතය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු කියා සිටියේ ක්‍රීඩාවේ පරිපාලකයන් මේ සම්බන්ධයෙන් නිවැරදි තීරණයක් නොගන්නේ නම් ඉදිරියේදී පාපන්දු මෙන් ජාත්‍යන්තර තරග ලීග් ක්‍රිකට් හමුවේ පසුබැසීමේ අවධානමක් ඇති බවයි.

” ඉදිරියේදී එය විශාල අභියෝගයක් වෙයි. තවත් වසර 10කින් පමණ ක්‍රිකට් ක්‍රීඩාව පාපන්දු වගේ වෙයි. ක්‍රීඩකයන්ට ක්‍රීඩා කිරීමට ලොව පුරා ලීග් තරග තියේවි. මම ලොව පුරා පැවැත්වෙන ලීග් තරගාවලි 3,4ක් ක්‍රීඩා කළද මගේ අනාගතය ගැන අනාවැකි පළ කරන්න බෑ. මක්නිසාද එහි වැඩි වශයෙන් ක්‍රීඩකයන් සිටිනවා.”

ක්‍රීඩකයන් ජාතික කණ්ඩායම නියෝජනය කිරීමට ඇති අවස්ථාවන් මගහරිමින් ලීග් තරග ක්‍රීඩා කිරීම සම්බන්ධයෙන්ද ඩුප්ලේසිස් අදහස් දක්වා ඇත.

” මෙය පළමුවෙන් සිදුකරන්න පටන් ගත්තේ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයන්. ඔවුන් සියල්ලෝම ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් ඈත්ව ලීග් ක්‍රිකට් වෙත යොමු යොමු වුණා. ඒ හේතුවෙන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ඔවුන් සතු ප්‍රබල ක්‍රීඩකයන් අහිමි වුණා. දකුණු අප්‍රිකානු කණ්ඩායමේද මෙය ආරම්භ වෙලා තියෙනවා”.

මුලාශ්‍ර – Creeda Sports Network