BREAKING NEWS
Search

විස්සයි විස්ස නායකත්වය යළි මැතිව්ස්ට

67

සත්කාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන පන්දුවාර විස්ස ක්‍රිකට් තරගාවලියේදි ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස ඇන්ජලෝ මැතිව්ස් කටයුතු කරනු ඇතැයි වාර්තා වෙනවා.ඒ නිත්‍ය නායක දසුන් ශානකගේ වීසා ගැටලූවට මෙතෙක් විසදුමක් නොලැබීම හේතුවෙන්.

විස්සයි විස්ස තරගාවලියේදී නායකයා ලෙස දිමුත් කරුණාරත්න කටයුතු කරනු ඇතැයිද වාර්තා පළ වුණා.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් නෙත් ස්පෝර්ට්ස්මන් වෙත අදහස් දැක්වමින් ශ්‍රී ලංකා ක්‍රිකට් උසස් නිලධාරියෙකු පැවසුවේ දිමුත් කරුණාරත්න මේ දක්වා එක් හෝ ජාත්‍යන්තර විස්සයි විස්ස තරගයකට ක්‍රීඩා නොකිරීම හේතුවෙන් අත්දැකීම් සහිත ක්‍රීඩකයන් තරගාවලියේදී නායකත්වය ලබාදෙනබවයි.

දිමුත් කරුණාරත්න LPL තරගාවලියේදීද කිසිදු කණ්ඩායමක් නියෝජනය නොකළ බවයි එම උසස් නිලධාරියා සදහන් කළේ.

ඒ අනුව කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත පන්දුවාර විස්ස තරගාවලියේදී ඇන්ජලෝ මැතිව්ස් ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙය වීමට නියමිතව තිබෙනවා.

වීසා සම්බන්ධයෙන් ඇති වූ ගැටලූවක් මත දසුන් ශානකට සෙසු ක්‍රීඩකයන් සමග කොදෙව් සංචාරයට එක්වීමට හැකියාව ලැබුණේ නැහැ.

2018 වසරේදී දසුන් ශානකගේ විදේශ ගමන් බලපත‍්‍රය අස්ථාන ගත වී ඇති අතර මේ හේතුවෙන් මෙම ගැටලූව වුණා.

එහි වසර 5ක් සදහා අමෙරිකානු වලංගු වීසා ඇතුළත්ව තිබූ බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසුවේ. කෙසේ වෙතත් මෙම වීසා ගැටලූව මෙතෙක් විසදා ගැනීමට හැකියාව ලැබී නැහැ.

තරග 3කින් සමන්විත කොදෙව් – ශ්‍රී ලංකා පන්දුවාර විස්ස ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය මාර්තු මස 4 වැනිදා ඇන්ටිගුවා හිදි පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඊට එක්වන කොදෙව් සංචිතය ඊයේ ප්‍රකාශයට පත් කළ අතර ක්‍රිස් ගෙල් වසර දෙකකට පසු කොදව් විස්සයි විස්ස සංචිතයට කැදවා තිබීම විශේෂත්වයක්.

කිරන් පොලාර්ඞ්ගේ නායකත්වයන් කොදව් සංචිතයට වසර 9කට පසු වේගපන්දු යවන ක්‍රීඩක ෆිදෙල් එඞ්වර්ඞ්ස්ද කැදවා තිබෙනවා.කෙසේ වෙතත් එම සංචිතයට අන්ද්‍රේ රසල් ඇතුළත්ව නැහැ.