වියදම මිලියන 890ක් නොවේ, මිලියන 120යි.. – වැලි ඛාදනය ව්‍යාපෘතියේ කොටසක්..!

203

ගල්කිස්ස මුහුදු වෙරළට පොම්ප කරන ලද වැලි ඛාදනයට ලක්විම ව්‍යාපෘතියේම කොටසක් බව වෙරළ සංරක්ෂණ දෙපාර්තුමේන්තුව පවසනවා .

මෙම ඛාදනය වු වැලි ගල්කිස්සෙන් උතුරු දෙසට තැන්පත් වී මීටර් 10-15 අතර පුලුල් වෙරළ තීරයක් නිර්මාණය වන බවයි එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති පවසන්නේ.

ගල්කිස්ස මුහුදු වෙරළට පසුගිය අප්‍රේල් මස පොම්ප කරන ලද වැලි මේ වන විට මුහුදු ඛාදනයට ලක්ව ඇති අතර ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමිනුයි ඔහු මේ බව සදහන් කලේ.

මුහුදු ඛාදනය නිසා කොළඹ-මාතර දුම්රිය මාර්ගයට හානි විම වැලැක්විමත් මෙම ව්‍යාපෘතියේ එක් අරමුණක් වුණා

කෙසේ වෙතත් මෙම ව්‍යාපෘතිය සදහා පමණක් රුපියල් මිලියන 890 ක් වියදම් කල බවට වන වාර්තා සම්පුර්ණයෙන් අසත්‍ය බවත් එම මුදල වැයවන්නේ රත්මලාන සිට කළුතර දක්වා වෙරළ ප්‍රතිසංස්කරණය කිරීමේ සම්පුර්ණ ව්‍යාපෘතියට බවත් මෙම කොටස සදහා වැයවී ඇත්තේ මිලියන 120ක් බවත් ඔහු සදහන් කළා.