BREAKING NEWS
Search

වියතුන් දෙදෙනෙක් සජිත්ට එයි

4774

විශ්‍රාමික මේජර් ජෙනරාල් ආචාර්ය බොනිෆස් පෙරේරා මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් සමගි ජනබලවේගයේ බුද්ධි මණ්ඩපයේ සහ වෘත්තීයවේදී සංගමයේ උපදේශකවරයකු ලෙස පත්කොට තිබේ.

ශ්‍රී ලංකා යුද හමුදාවේ ආර්ථික විද්‍යා ආචාර්ය උපාධියක් හිමිකර ගත් පළමු නිලධාරියා ලෙස මේජර් ජෙනරාල් බොනිෆස් පෙරේරා මහතා ඉතිහාසයට එක්ව ඇති අතර ඒ මහතා මානව සම්පත් කළමනාකරණ ඩිප්ලෝමාව,උසස් ආරක්‍ෂක කළමණාකරණ ඩිප්ලෝමාව,යුද හමුදා මාණ්ඩලික විද්‍යාලීය චිජ උපාධිය සහ චීනයේ ජාතික ආරක්‍ෂක උපාධිය ඉහළින් සමත්වී ඇත.

යුද පිටියේ දී සතුරා ඉදිරියේ දක්වන නිර්භීත භාවය උදෙසා පිරිනමන රණශූර පදක්කම හා රණවික්‍රම පදක්කමද, උසස් විනය පැවැත්ම වෙනුවෙන් පිදෙන උත්තම සේවා පදක්කම ඇතුළු පදක්කම් දොළහකින්ද ඔහු පිදුම් ලබා ඇත.

2012 වසරේ දී,වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති ලෙසින්ද උතුරේ අවතැන්වූවන් සඳහා වන නිසි බලධාරි ලෙසින්ද පත්වූ ඒ මහතා ජාති,ආගම්,කුල භේදයකින් තොරව සිදුකරන ලද ජාතික,ආගමික හා සාමාජීය සේවය අගයා ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායෙන් 2016 වසරේ දී ”දේශකීර්ති ලංකාපුත්‍ර” සම්මානය ඔහුට පුදන ලදී.

හෙතෙම පුවත්පත් රැසක ආරාධිත නිදහස් ලේඛකයකු ලෙස ද කටයුතු කර ඇති අතර වියත්මග සංවිධානයේද සාමාජිකයකුව සිටියේය.

මේ අතර දශක ගණනාවක් පුරා විදේශීය සහ රාජ්‍යතාන්ත්‍රික අත්දැකීම් ඇති රංජිත් උයංගොඩ මහතා විපක්ෂ නායක සහ සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් සමගි ජනබලවේගයේ වෘත්තීයවේදී උපදේශක මණ්ඩලයට සහ බුද්ධි මණ්ඩපයට පත් කරනු ලැබ තිබේ.

1985 දී ශ්‍රී ලංකා විදේශ සේවය සමග එක්වන ඒ මහතා කලක් විදේශ කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයා ලෙසද කටයුතු කළේය. විදේශ පරිපාලන සේවය මෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සක්‍රීය නියෝජිතයෙකු ලෙස අත්දැකීම් ඇති ඒ මහතා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා වැඩබලන මහ කොමසාරිස් ලෙස ද සේවය කර ඇත.

1998 සිට 2003 දක්වා ඔහු එක්සත් ජාතීන්ගේ නියෝජ්‍ය නිත්‍ය නියෝජිතයා වූ අතර මැලේසියාව ,කැනඩාව,ජපානය වැනි රටවල් රැසක ශ්‍රී ලාංකික තානාපතිවරයා විය.

පසුව මහජන චීන සමූහාණ්ඩුවේ ශ්‍රී ලංකා තානාපති ලෙස දිගු කලක් ඒ මහතා කටයුතු කළේය. ජාතික සහජීවනය ,සංවාද සහ රාජ්‍ය භාෂා අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙසද කටයුතු කළේය.

භාෂා කිහිපයක් හැසිරවිය හැකි ඒ මහතා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳව විශේෂවේදී උපාධිදාරියෙකි.