BREAKING NEWS
Search

විභාග නැති නිසා සිසුන් සම්බන්ධව ගත් තීරණය

655

මෙම වසරේ දී විෂය නිර්දේශ ආවරණය කරමින් වාර විභාග පවත්වා සිසුන්ගේ අධ්‍යාපන මට්ටම් පරීක්ෂා කිරීමට නොහැකි වුවද සියලුම සිසුන් ලබන වසරේ (2021) දී නව පන්තිවලට උසස් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

එමෙන්ම අඩුපාඩු වූ විෂය නිර්දේශ ආවරණ කටයුතු නව වසරේ (2021) මුල් මාස දෙක ඇතුළත සම්පූර්ණ කර ගැනීමට ක්‍රමවේදයක් සකස් කිරීමේ බලය විදුහල් ප්‍රධානීන්ට පැවරේ.

පළමු ශ්‍රේණියට හා හයවැනි ශ්‍රේණියට නව සිසුන් ඇතුළත් කිරීම පෙබරවාරි මාසය දක්වා කල් දැමෙන අතර සාමාන්‍ය පෙළ විභාගය මාර්තු මාසයේ පැවැත්වෙන හෙයින් ඒ දක්වා එකොළහ ශ්‍රේණියේ සිසුන්ට පාසලට පැමිණීමට හැකි වෙයි. එම සිසුන්ට ඉඩ ලබා ගැනීම සඳහා අට හා නවය යන ශ්‍රේණිවල දරුවන් කාණ්ඩ වශයෙන් පාසල්වලට කැඳවන බව අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙක් ‘අරුණ’ට ඊයේ (15 වැනිදා) පැවසීය.

පළමු වාරයේ දී බාහිර ක්‍රියාකාරකම්වලට ඉඩ නොලැබෙන අතර විනෝද චාරිකා යාමට ද අවසර නොලැබේ. නිවාසාන්තර ක්‍රීඩා තරග මෙන්ම වාර්ෂික ක්‍රිකට් තරග පැවැත්වීමට අවසර නොදීම කෙරෙහි ද අමාත්‍යාංශයේ අවධානය යොමු වී ඇත.

ලබන වසරේ (2021) පළමු පාසල් වාරය ආරම්භ කිරීමට හා ඉන් පසු අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ගවලට අදාළ චක්‍රලේඛය මේ සතියේ නිකුත් කෙරේ.

තෙවැනි වාර නිවාඩුව ලබන (දෙසැම්බර්) 23 වැනිදා ආරම්භ කෙරෙන අතර නව පාසල් වාරය ජනවාරි මස 04 වැනිදායින් ඇරැඹේ.

නිලන්ත මදුරාවල