විදෙස් ක්‍රීඩකයන් 630ක් එල්.පී.එල්.ලියාපදිංචි වෙයි

2061

ජුලි මස 30 වැනිදා සිට ලබන අගෝස්තු මස 22 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අදියර සඳහා විදෙස් ක්‍රීඩකයින් 630ක් ලියාපදිංචි වී ඇති බව විශ්වාසවන්ත ආරංචිමාර්ග සඳහන් කරයි.

අදාළ විදෙස් ක්‍රීඩකයන්ට මෙවර තරගාවලිය සඳහා ලියාපදිංචි වීමට ඉකුත් 21 වැනිදා සිට 27 වැනිදා දහවල් 12.00 දක්වා අවස්ථාව උදා වී තිබුණි. ඒ ඒ ක්‍රීඩකයන්ගේ සුදුසුකම් මත ඔවුන්ව එල්.පී.එල්. අවසන් ක්‍රීඩක කෙටුම්පත සඳහා ඇතුළත් කිරීමට කටයුතු කෙරෙනු ඇත.

එම ක්‍රීඩකයන් අතර ලොව නම් දැරූ ක්‍රීඩකයන් රැසක් ඇතුළත්ව සිටින බව වැඩිදුරටත් වාර්තා වේ.

විදෙස් ක්‍රීඩකයන් ලියාපදිංචියේදී ජාතික ක්‍රිකට් කණ්ඩායමක් නියෝජනය කර තිබීම, සිය රටේ පළමුපෙළ තරග ක්‍රීඩා කර තිබීම හෝ අයි.සී.සී.යේ පූර්ණ සාමාජිකත්වය හිමි රටක් විසින් සංවිධානය කරනු ලැබූ විස්සයි විස්ස ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියකට සහභාගි වී තිබීම අනිවාර්ය වී තිබුණි.

මෙහිදී තරගාවලිය හා එක්වන දේශීය ක්‍රිකට් ක්‍රීඩකයන් තෝරා ගැනීම ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව මගින් තීරණය කරනු ඇත. ඒ සඳහා ජාතික, නැගී එන, සංවර්ධන කණ්ඩායම්, ‘ඒ’ කණ්ඩායම සහ අන්තර් සමාජ ප්‍රධාන ක්‍රිකට් තරගාවලිය නියෝජනය කළ ක්‍රීඩකයන්ට අවස්ථාව උදාවනු ඇත. පළමු තරගාවලිය සේම මෙවර තරගාවලියත් කණ්ඩායම් පහකගේ සහභාගිත්වයෙන් පැවැත්වේ. ජෛව ආරක්ෂණ බුබුළක් යටතේ පැවැත්වෙන තරගාවලිය හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට යෙදී තිබේ.

ගයාශාන් විතානආරච්චි