වැවට නාන්න ගිය 14 හැවිරිදි සිසුවාගේ සිරුර සියඹලා ගසේ එල්ලෙමින් තිබුනේ කෙසේද ?

199

ගල්ගමුව නිහාල් ජයවීරා ගල්ගමුව,පාඩිපංචාව ප්‍රදේශයේ කුඩා වැවක දිය නෑමට ගිය දහහතර වියති සිසුවකුගේ සිරුරක් වැව අසල සියඹලා ගසක එල්ලෙමින් තිබියදී සොයාගත් බව ගල්ගමුව පොලිසිය කියයි. මේ සිරුර සම්බන්ධයෙන් කළ පශ්චාත් මරණ පරීක්ෂණවලදී සිසුවාට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි පසුව අනාවරණය වූ බව ද පොලිසිය පවසයි.

ගල්ගමුව,පාඩිපංචාව ප්‍රදේශයේ පාසල් සිසුවකු මෙසේ මරණයට පත්ව ඇතැයි පොලිසිය කියයි.ඉකුත් පළමු වැනිදා සවස පහ හමාරට පමණ සිය ගමේ පිහිටි කුඩා වැවකට දිය නෑමට ගොස් ඔහුගේ ආපසු පැමිණීම ප්‍රමාද වීම ගැන සොයා බලද්දී වැව අසල සියඹලා ගසක එල්ලෙමින් තිබී ඔහුගේ සිරුර ඥාතීන්ට හමු වී ඇතැයි පොලිසිය පවසයි.සිසුවා සිය පියා සමග ජීවත්වන බවත්,දෙදෙනා එක්ව ගඩොල් කපා ජීවත්වන බවත් පරීක්ෂණවලදී අනාවරණය වූ බව පොලිසිය පවසයි.සිද්ධිය වූ දින ද දෙදෙනා ගඩොල් කපා නිවෙසට පැමිණ තිබේ.ගඩොල් කපා පැමිණි සිසුවා අසල්වැසි නිවෙසකට ගොස් රූපවාහිනිය නරඹමින් සිටියදී පියා එහි ගොස් දිය නෑමට නොයෑම ගැන අවබෝද කර ඇති බවත් පොලිසිය පවසයි.ඉන් පසු සිසුවා දිය නෑමට ගොස් ඇති බවත්,ඔහුගේ ප්‍රමාදය ගැන සොයා බලද්දී මෙසේ සිරුර සොයාගෙන ඇති බවත් පොලිසිය පවසයි.

ගල්ගමුව බස්නාහිර කෝරළයේ හදිසි මරණ පරික ශාන් රණවිර මහතා මේ මරණය සම්බන්ධයෙන් හදිසි මරණ පරීක්ෂණය ගල්ගමුව මූලික රෝහලේ දී පෙර්දා (2 වැනිදා) පැවැත්වූ අතර,සිරුර පශ්චාත් මරණ පරීක්ෂණයකට යොමු කිරීමෙන් පසුව සිසුවාට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි අනාවරණය වී තිබේ. ගල්ගමුව පොලිසියේ සැරයන් අජිත් මහතා (488) හදිසි මරණ පරීක්ෂණයේ සාක්ෂි මෙහෙයවිය.