වාර්තා නොවූ රෝගීන් නිදැල්ලේ ඇවිදිමින් සිටිනවා : පිළියන්දල නගරයේ අවදානම ගැන සෞඛ්‍ය බලධාරීන් පෙන්වයි

193

ඉකුත් ඉරිදා උදෑසන පිළියන්දල පොලිස් බලප්‍රදේශයේ ග්‍රාම නිලධාරී වසම් 52කම ආවරණය වන පරිදි හුදකලා කිරීමට බලධාරීන් තීරණය කළ ද පසුව එදින රාත්‍රීයේ එම තීරණය වෙනස් කර තිබුණා.

ඒ අනුව ග්‍රාම නිලධාරී වසම් 10ක් පමණක් මේ වන විට හුදකලා කිරීමටයි බලධාරීන් පියවර ගනු ලැබුවේ.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනි වෛද්‍ය සමන්තිකා විජේසුන්දර සඳහන් කර සිටියේ තමන්ගේ ඉල්ලීම වුයේ මුළු පිළියන්දල ප්‍රදේශයම හුදකලා කිරීම බවය.

“මගේ දැනුවත් වීමකින් තොරව තමයි එම සීමාවන් අයින් කරේ. දැනටත් මගේ ඉල්ලීම විශාල ප්‍රදේශයක් ලොක්ඩවුන් කිරීමෙන් පමණයි අපි බලාපොරොත්තු වන ඉලක්කය ඉෂ්ඨ කරගන්න පුළුවන් වෙන්නේ. අපිට පෙනෙන රෝගීන් සංඛ්‍යාව අනුව තමයි හුදකලා කිරීම් කරලා තියෙන්නේ. නමුත් වාර්තා නොවූ රෝගීන් නිදැල්ලේ සැරිසරමින් මේ වන විටත් ඉන්නවා. රෝහල් ගත කිරීමට ප්‍රමාද වීම නිසා රෝගීන් 100ක පමණ ප්‍රමාණයක් මේ ප්‍රදේශයේ රැඳී සිටිනවා. සුවසැරිය ගිලන් රථයට මේ සියලු රෝගීන් ප්‍රවාහනය කිරීමේ හැකියාවක් නෑ.රෝගියෙක් සොයා ගත්තත් පැය ගණන් රෝගීන්ට බලා සිටීමට සිදුවෙනවා. ඒ නිසා රෝගීන් නිවෙස් තුළ මියයෑමේ හැකියාවක් පවතිනවා.“

කෙසේ වුවත් රජයේ අමාත්‍යවරයෙක් විසින් පිළියන්දල පොලිස් බලප්‍රදේශය සම්පුර්ණයෙන්ම හුදෙකලා කිරීමේ තීරණය සම්බන්ධයෙන් යම් මැදිහත් වීමක් සිදුකර ඇති බවයි වාර්තා වන්නේ. කොරෝනා ආසාදිතයින් වැඩි වශයෙන් වාර්තා වන ප්‍රදේශ සම්බන්ධයෙන් බුද්ධි අංශ නිලධාරින් ගේ ප්‍රධානත්වයෙන් තොරතුරු සොයා බලා එම ප්‍රදේශ පමණක් ලොක්ඩවුන් කිරීම සිදුකරන ලෙස මෙම අමාත්‍යවරයා දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ