BREAKING NEWS
Search

වායු සමීකරණ සහිත ස්ථානවල දී කොවිඩ් වැලඳීමට ඇති හැකියාව වැඩියි -වෛද්‍ය සුදත් සමරවීර

224

වායු සමීකරණ පහසුකම් සහිත කාර්යාල හෝ ස්ථානවල රාජකාරි කටයුතු කිරීමේ දී සැමවිටම සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව ක්‍රියාකළ යුතු බව වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.

ඔහු පෙන්වාදෙන්නේ කොවිඩ් -19 වෛරස ව්‍යාප්තිය හේතුවෙන් සංවෘත ස්ථානවල කිහිපදෙනෙකු කටයුතු කිරීම වඩාත් අවදානම් සහගත බවය.

“යම් විදියකින් පුද්ගලයෙක් ජනෙල් දොරවල් වහලා තියෙන කුඩා කාමරයක ඉන්නවා නම්,විශේෂයෙන් ම වායු සමීකරණය කරලා තියෙන තැනකදී මේ රෝගය තවත් අයෙකුට ව්‍යාප්ත වෙන්න,වැළඳෙන්න තියෙන හැකියාව වැඩියි.ඒ නිසා ඒ වගේ ස්ථානවල අපි නිර්දේශ කරනවා පුළුවන් හැම අවස්ථාවක ම ජනෙල් දොරවල් විවෘතව තබන්න.ඒ වගේම තමයි ඒ වගේ ස්ථාන කාර්යාලයක දී පවා අපි තනියම නෙමෙයි නම් කාමරයේ ඉන්නේ අනෙක් අය මුණ ගැසෙන විටත් හමුව කතා බහ කරන විට මුව ආවරණ නිතර පැලඳ සීටීම ඉතාම වැදගත්.එවැනි ස්ථානයක රාජකාරියට ගිය වහාම තමන්ගේ අත් සබන් දා පිරිසිදු කළ යුතුයි.ඒ වගේම ආයතනයෙන් පිටතට යෑමේ දී ද අත් සේදීම ඉතා වැදගත්.“

බෝ නොවන රෝග හෝ වෙනත් රෝග සඳහා ප්‍රතිකාර ලබාගැනීමට රෝහල් වෙත පැමිණ එය පාලනය කර ගත යුතු බවත් එහිදි සෞඛ්‍ය උපදෙස් නිසි ලෙස පිළිපැඳිය යුතු බවද විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා වැඩිදුරටත් පැවසීය.