වසංගතය මැද්දේ PCR පරීක්ෂණ මාෆියාවක් ගැන කරුණු හෙළිවෙයි

209

කොවිඩ් ව්‍යාප්තියට මුවාවී යළිත් ධාරිතාවටත් වඩා පී.සී.ආර්.පරීක්ෂණ වැඩිකර ගසා කෑමේ මහා පරිමාණ ජාවාරමක් සෞඛ්‍ය අංශවල කිසියම් පිරිසක් සංවිධානාත්මකව ආරම්භ කර ඇතැයි ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති කොවිඩ් කමිටුවේදී අනාවරණය වී ඇත.

පෞද්ගලික රෝහල් සඳහා දෛනිකව අවසර ලබාදී ඇති පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රමාණයද දෙගුණයකින් වැඩිකිරීමමට අදාළ කණ්ඩායම් ඉඩ සලසා දී ඇතැයි හෙළිවී තිබේ.

ගතවූ දින පහ ඇතුළත පරීක්ෂණාගාරවල ධාරිතාව ඉක්මවමින් සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් නොතකා පී.සී.ආර්. පරීක්ෂණ මාෆියාව ක්‍රියාත්මක වී ඇතැයි අනාවරණය වීමත් සමග කොවිඩ් මර්දන කමිටුවේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඊයේ (5 වැනිදා) සිට අදාළ රෝහල්වල කටයුතු නිරීක්ෂණය කරන්නැයි නියෝග ලබා දී තිබේ.

පෙරේදා (4 වැනිදා) දිනයට පමණක් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්ට දුන් නියෝග පවා නොතකා රටම ආවරණය වන පරිදි පී.සී.ආර්.පරීක්ෂණ 37,000ක් කර ඇතැයි අනාවරණය වී ඇත.

කොවිඩ් කමිටුවේදී සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන විසින් ජනාධිපතිවරයාට පෙන්වා දී ඇත්තේ දිනකට පී.සී.ආර්. පහළොස් දහසක් කරන බවයි.

පරීක්ෂණාගාරවල ධාරිතාව ඉක්මවා පරීක්ෂණ කිරීම නිසා දිනකට පරීක්ෂණ කට්ටල පන්දහසත් දස දහසත් අතර ප්‍රමාණයක් වාර්තා ලබා දීමට නොහැකිව ගොඩගැසෙන බව කොවිඩ් කමිටුව අනාවරණය කරගෙන තිබේ.

එක්තරා ප්‍රධාන පෞද්ගලික රෝහලක් දිනකට 1200ක් පරීක්ෂණ කිරීමට දුන් සීමාව ඉක්මවමින් දවසට 3000 බැගින් දින පහක් ඇතුළත පී.සී.ආර්.පරීක්ෂණ පහළොස් දහසක් කර ඇතැයි ද හෙළි වී තිබේ.

රුපියල් හයදහස් පන්සියයක් එක් පරීක්ෂණයක් සඳහා වැයවන බවත් අවශ්‍ය ලෙස ධාරිතාව වැඩිවන පමණින් මහජන මුදල් පිටරට සමාගම් වෙත හා ජාවාරම පසුපස සිටින කණ්ඩායම්වලට බෙදී යන බවත් ඒ අනුව අනාවරණය වී තිබේ.

කොවිඩ් රෝග ලක්ෂණ පෙන්වන ආයතනවල සේවකයන්ට සියයට පනක පරීක්ෂණ කරන්නැයි උපදෙස් නිකුත් කර තිබියදී අම්පාරේ ඇඟලුම් කම්හලක මුළු සේවකයන් 1800ම පී.සී.ආර්. පරීක්ෂණ කරවා ඇත.

ඒ සඳහා ආයතනය විසින් පෞද්ගලික රෝහලකට රුපියල් ලක්ෂ 78ක් ගෙවා ඇත. එහිදී සේවකයින් 128ක් පමණක් ආසාදිතයන් ලෙස වාර්තා වූ පසුව සේවකයන්ගේ ආශ්‍රිතයන් නිරෝධායනය කර කර්මාන්ත ශාලාව පවත්වාගෙන යා​මේ හැකියාව තිබියදීත් වසා දැමීමට පියවර ගෙන ඇතැයිද අනාවරණය වී ඇත.

රටම වසා දමා පී.සී.ආර්. පරීක්ෂණ වැඩි කරන්නැයි ජනතාව අතර මතයක් ඇති කරන්නට උත්සාහ ගන්නේත් පී.සී.ආර්. මාෆියාව පසුපස සිටින කණ්ඩායම් බව කොවිඩ් කමිටුව පෙන්වා දෙයි.

( තිස්ස රවින්ද්‍ර – අරුණ පුවත්පත)