වන විනාශයට එරෙහිව එජාපය නඩු මඟට

118

සිංහරාජය ඇතුළු වනාන්තර විනාශයට එරෙහිව නඩු පැවරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබෙන බව හිටපු අග්‍රාමාත්‍ය සහ එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

වනාන්තර විනාශය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයට සහ පරිසරය සම්බන්ධව ක්‍රියා කරන්න සෙසු ජාත්‍යන්තර සංවිධාන වලට දැනුම් දීමට ද එක්සත් ජාතික පක්ෂය අදහස් කර සිටින බවද වික්‍රමසිංහ මහතා කියයි.

එක්සත් ජාතික පක්ෂයේ හරිත ආර්ථික ප්‍රතිපත්තිය එළි දැක්වීම වෙනුවෙන් නුගේගොඩ පැවැති තරුණ හමුවකදී රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කරයි.

වන විනාශය පිළිබඳ ප්‍රශ්නය දේශපාලනීකරණය කළ යුතු බව එක්සත් ජාතික පක්ෂයේ මතය නොවේ යැයි කී වික්‍රමසිංහ මහතා මෙි ගැටලුව පක්ෂවල ප්‍රතිරූපය ගොඩනගා ගන්නට පාවිච්චි කළ යුතු මාතෘකාවක් ද නොවන අතර වන විනාශයට එරෙහිව මූලික වැඩ කටයුතු කළ යුත්තේත් ඉදිරියට පැමිණිය යුත්තේත් රටේ ජනතාව බව කීය.

වන විනාශය නතර කොට පරිසරය ආරක්ෂා කර ගැනීම සඳහා හැකි උපරිම අයුරින් ජනතාවට සහයෝගය ලබාදීම දේශපාලන පක්ෂ වල යුතුකම බව ද රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් කීය.

වනාන්තර ආරක්ෂා කිරීම සඳහා පනත අනුමත කළ ⁣ජේ.ආර් රජයේ 1988 කැබිනට් මණ්ඩලයේ සිටි සාමාජිකයෙක් ලෙස මේ පිළිබඳව කතා කිරීමට තමාට විශේෂ අයිතියක් තිබෙන්නේ යැයිද රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

අංජුල මහික වීරරත්න