වකුගඩු රෝගීන් ප්‍රවේශම් වන්න,කොවිඩ් මරණ අනුපාතය තුනට එකයි.

215

ඉතිරි 48 දෙනාගෙන් 16 දෙනෙකු මිය ගිහින් තියෙනවා.
මේ දත්ත ඇත්තටම බිය ගන්වන සුළුයි…!

වකුගඩු බද්ධ කිරීමේ සැත්කම්වලට ලක්වූ පිරිස් හැකි ඉක්මනින් කොවිඩ් 19 එන්නත ලබාගන්නා ලෙසට වකුගඩු රෝග විශේෂඥවරුන්ගේ සංගමය දැනුම්දෙනවා.

එවැනි පුද්ගලයන්ට කොරෝනා වෛරසය ආසාදනය වුවහොත් අවදානම ඉහළ බවයි වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ.වකුගඩු බද්ධ කළ පුද්ගලයන් වෛරසය ආසාදනයෙන් පසු නිවසේ සිට ප්‍රතිකාර ලබා නොගන්නා ලෙසට ද වකුගඩු රෝග විශේෂඥවරුන්ගේ සංගමය දැනුම්දෙනවා.

මේ අතර කෝවිඩ් වෛරසය ආසාදනය වූ වකුගඩු රෝගීන්ගෙන් තුනෙන් එකක් මියයන බව ජාතික රෝහලේ වකුගඩු විශේෂඥ වෛද්‍ය මහාචාර්ය එරංග විජේවික්‍රම පවසනවා.

මෙරට පළමු කොවිඩ් ආසාදිතයා වාර්තා වූ දා පටන් සිට පසුගිය මැයි 31 වෙනිදා දක්වා කොරෝනා වෛරසය ආසාදනය වූ වකුගඩු රෝගීන් 58 දෙනෙකු වාර්තා වී තිබෙනවා.

මෙම 58 දෙනා ආශ්‍රයෙන් සිදු කළ සමීක්ෂණයකින් මෙම තොරතුරු අනාවරණය වූ බවයි වකුගඩු විශේෂඥ වෛද්‍ය මහාචාර්ය එරංග විජේවික්‍රම පවසන්නේ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහාචාර්ය වෛද්‍ය එරංග විජේවික්‍රම මෙලෙස අදහස් පළකළා…

“මාස දෙකකට කලින් අපි සමීක්ෂණයක් කළා. ලංකාවේ සිටින සියළුම වකුගඩු විශේෂඥ වෛද්‍යවරුන් මෙම සමීක්ෂණයට එක් වුණා. එහිදී අපි බැලුවේ ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 ආරම්භයේ සිට පසුගිය මැයි තිස් වෙනිදා දක්වා වකුගඩු බද්ධ කල කී දෙනෙක් කොවිඩ් ආසාදනය වුණාද එයින් කී දෙනෙකුට සංකූලතා ඇති වූනාද කියන කාරනායි. එහිදී අපිට දැනගන්නට ලැබුණා ඒ වන විට වකුගඩු බද්ධ කල 58 දෙනෙකුට කොවිඩ් ආසාදනය වෙලා ප්‍රතිකාර අරන් තියෙනවා කියලා. එයින් දස දෙනෙක් මැයි මස තිස් වෙනිදා වන විටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියා. ඉතිරි 48 දෙනාගෙන් 16 දෙනෙකු මිය ගිහින් තියෙනවා. හරියටම තුනෙන් එකක්. මේ දත්ත අත්තෙන්ම බියගන්වන සුලුයි. එය විශාල ප්‍රමාණයක්..”

වකුගඩු බද්ධ කරන රෝගීන් ප්‍රතිශක්තිකරණය අඩු කරන විවිධ බෙහෙත් වර්ග භාවිතා කරන නිසා ඔවුන්ගේ ප්‍රතිශක්තීකරණය අඩු වන බැවින් මෙම රෝගීන්ට කොවිඩ් 19 වැලඳීමෙන් පසු සංකූලතා ඇතිවීමේ වැඩි අවදානමක් ඇති බවයි ඔවු පවසන්නේ.

මේ නිසා වකුගඩු බද්ධ කරන රෝගීන් ශල්‍යකර්මයෙන් අනතුරුව අවම තරමෙන් මාස තුනක් ගත වන තුරු හෝ නිවසේ වෙනම කාමරයක ඉතා දැඩි සෞඛ්‍ය ආරක්ෂක විධි අනුගමනය කරමින් ප්‍රවේශම් වන ලෙස වෛද්‍ය විශේෂඥයින් උපදෙස් දෙනවා.

එමෙන්ම වකුගඩු බද්ධකල රෝගීන් අතර මතයක් තිබෙනවා කොවිඩ් 19 ප්‍රතිශක්තිකරණ එන්නත ලබා නොගත යුතුයි කියලා. අපි දන්නේ නෑ මේ මතය කොහෙන් ආවද කියලා. අපි උපදෙස් දෙන්නේ වකුගඩු රෝගීන් සියලුදෙනාම හැකි වහාම, ලද පළමු අවස්ථාවේදීම මෙම එන්නත ලබාගෙන ආරක්ෂාව සලසා ගන්න කියලයි. විශේෂඥ වෛද්‍ය මහාචාර්ය එරංග විජේවික්‍රම වැඩිදුරටත් කියා සිටියා.

මෙහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ වකුගඩු බද්ධකල රෝගීන්හට කොවිඩ් 19 රෝගය වැළඳී කිසියම් සංකූලතාවයක් ඇති වුවහොත් ඉතා ඉක්මනින් වකුගඩු සම්බන්ධව ප්‍රතිකාර ලබන රෝහලකට පැමිණ වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නා ලෙසයි.

නැතහොත් වෛරසය තුළින් පෙනහළු අසාදනය වී ඔබ මිය යෑමට ඇති සම්භාවිතාව වැඩිවනු ඇති බවයි මහාචාර්ය එරංග විජේවික්‍රම වැඩිදුරටත් කියාසිටියේ.