ලොව කොරෝනා ආසාදිතයන් ගණන මිලියන ඉක්මවු පළමු රට බවට අමෙරිකාව පත්වෙයි…!

116

ලොව කොවිඩ් ආසාදිතයන් ගණන මිලියනය ඉක්මවූ පළමු රට බවට අද(28) අමෙරිකාව පත්විය.

වෛරසයෙන් අද වන විට ලොව පුරා මරණ 211,788ක් වාර්තාවී තිබේ.

මේ අතර ඉන්දුනීසියාවේ කොවිඩ්-19 රෝග ලක්ෂණ සහිත පුද්ගලයන් 2,200කට වැඩි පිරිසක් මියගොස් ඇති බවට දත්ත විශේලේෂණයේදී පෙනීයන්නේ යැයි රොයිටර්ස් පුවත් සේවය පවසයි.

කොවිඩ් නයින්ටීන් වෛරසයෙන් ලොව වැඩිම බලපෑමක් එල්ලවූ රට වන අමෙරිකාවේ කොවිඩ් ආසාදිතයන් ගණන අද මිලියනය ඉක්මවා ගියේය.

ඒ අනුව ලොව සමස්ත ආසාදිතයන්ගෙන් තුනෙන් එකක් වාර්තා වන්නේ අමෙරිකාවෙන්.

එරට මරණ සංඛ්‍යාව 56,796 ක්.

ගෙවුණු පැය 24 තුළදී අමෙරිකාවේ අලුතින් කොවිඩ් මරණ 1,3‍84 ක් වාර්තාවී තිබුණි.

මෙවන් පසුබිමක් තුළ 2020 ජනාධිපතිවරණයේ මූලික ඡන්ද විමසීම අවලංගු කිරීමට නිව් යෝර්ක් ප්‍රාන්ත බලධාරීන් පියවර ගෙන තිබේ.

අද වන විට අමෙරිකාවෙන් ආසාදිතයන් 1,010,507ක් , ස්පාඤ්ඤයෙන් 229,422ක් , ඉතාලියෙන් 199,414ක් , ප්‍රංශයෙන් 165,842ක් , ජර්මනියෙන් 158,758ක් සහ එක්සත් රාජධානියෙන් 157,149 ක් හඳුනා ගෙන ඇත.

වෛරසයෙන් ලොව දෙවැනියට වැඩිම බලපෑමක් එල්ලවූ රට වන ඉතාලියේ ඊයේ වාර්තා වූ මරණ 333 ත් සමඟ සමස්ත මරණ සංඛ්‍යාව 26,977 දක්වා ඉහළ ගියේය.

ස්පාඤ්ඤයේ සමස්ත මරණ සංඛ්‍යාව 23,521 දක්වා ඉහළ දමමින් ඊයේ(27) දිනයේදී මරණ 331ක් වාර්තා වී තිබුණි.

ප්‍රංශයෙන් ඊයේ දිනයේදී කොවිඩ් නයින්ටීන් මරණ 437ක් වාර්තා වුණේ සමස්ත මරණ සංඛ්‍යාව 23,293 දක්වා ඉහළ නංවමින්.

සති හතරකට පසුව එක්සත් රාජධානියේ අඩුම දෛනික මරණ සංඛ්‍යාව වාර්තා කරමින් ඊයේ මරණ 360ක් වාර්තා වී තිබුණි.

එරට සමස්ත මරණ සංඛ්‍යාව 21,092ක්.

මේ අතර උණ, උදරයේ අපහසුතා වැනි රෝගී ලක්ෂණ සහිත ළමුන් කිහිප දෙනෙකු එක්සත් රාජධානියේ මියගොස් ඇති අතර එම රෝගී තත්ත්වය කොවිඩ් 19 වෛරස ආසාදනයට සම්බන්ධ බවට වෛද්‍යවරුන් සැක පළ කරයි.

කොවිඩ් නයින්ටීන් වෛරසයෙන් මේ වන විට රුසියාවටත් දැඩි බලපෑම් එල්ලවී තිබෙනවා.

එරටින් හමුවන අසූ හත්දහසකට වැඩි ආසාදිතයන් පිරිස අතර හමුදා සාමාජිකයන් දෙදහස් අනූවක්ද සිටින බව විදෙස් වාර්තා පවසයි.

අසල්වැසි ඉන්දියාවෙන් ගෙවුණු පැය විසි හතරේදී කොවිඩ් මරණ 62ක් වාර්තාවී තිබේ.

ඒ සමඟ සමස්ත මරණ සංඛ්‍යාව 939 දක්වා ඉහළ යන අතර හඳුනාගෙන ඇති ආසාදිතයන් ගණන 29,451ක්.

වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීම සම්බන්දයෙන් ජනතාව දැනුවත් කිරීමට දිල්ලි පොලිසිය වෙස් ගැන්වූ පුද්ගලයන් යොදාගෙන තිබූණි.

කොවිඩ් වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීමේ පියවරක් ලෙස ආන්ද්‍රා ප්‍රාන්තය සමග පවතින දේශ සීමාව වසාදැමීම සඳහා ඒ හරහා අඩි 5ක් උසැති තාප්පයක් ඉදි කිරීමට තමිල්නාඩු ප්‍රාන්තයේ බලධාරීන් පියවර ගෙන තිබේ.

මුල් අවස්ථාවේදී වෛරස ව්‍යාප්තිය හොඳින් පාලනය කරගෙන සිටි නමුත් මේ වන විට එය පාලනයෙන් ගිලිහී ගොස් ඇති සිංගප්පූරුවෙන් වාර්තාවන සමස්ත ආසාදිතයන් ගණන අද වන විට14,951 දක්වා ඉහළ ගොස් තිබේ.

ඊයේ වාර්තා වූ එරට කොවිඩ්  මරණ දෙක සමග සමස්ත මරණ සංඛ්‍යාව 14 දක්වා ඉහළ ගියේය.

ඉන්දුනීසියාවේ කොවිඩ් 19 රෝග ලක්ෂණ සහිත පුද්ගලයන් 2,200කට වැඩි පිරිසක් මියගොස් ඇති බවට දත්ත විශේලේෂණයේදී පෙනීයන්නේ යැයි රොයිටර්ස් පුවත් සේවය පවසයි.

කෙසේ නමුත් එම පිරිස වෛරසයෙන් මියගිය අය ලෙසට වාර්තාවලට එක්කර නැහැ.

කෙසේ වෙතත් වෛරසය මුල්වරට හඳුනාගත් චීනයෙන් ඊයේ වාර්තා වුණේ ආසාදිතයන් හය දෙනෙක් පමණයි.

ඉදිරියේදී කොවිඩ් වෛරසය සීඝ්‍ර ලෙස ව්‍යාප්ත විය හැකි බවට අනුමාන කෙරෙන අප්‍රිකා මහද්වීපයේ සමස්ත ආසාදිතයන් ගණන 33,273ක්.

අප්‍රිකාවෙන් මරණ 1,467ක්ද වාර්තා වී තිබේ.