ලොවටම මතක ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අමතක වූ ස්ලින්ගා

514

සපරමාදු ලසිත් මාලිංග ස්වර්ණජිත් මේ සම්පූර්ණ නමේ මුල අග හුරු පුරුදු නැති වුනත් නමේ මැද නොදන්නා ක්‍රිකට් ලෝලියෙක් මෙලොව සිටිය නොහැකි තරම්.

ඒ අතරමට ශ්‍රී ලංකා ක්‍රිකට් නාමය ජාත්‍යන්තරයට ගෙන යන්නට සමත් වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රිකට් ක්‍රීඩකයන් ඇත්තේ ඉතාමත් අතලොස්සක් පමණයි.

ස්ලින්ගා යන ආදරණීය නාමයෙන් ක්‍රිකට් ලොව දික්විජය කළ මෙම සුපිරි වේගපන්දු යවන්නා සිය 14 වසරක ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවට සමුදුන්නේ මීට දින දෙකකට පෙරාතුවයි.

ක්‍රීඩකයන් භීතියෙන් භීතියට පත්කළ යෝකර් පන්දු යැවීමේ කලාවේ රජා ලෙස සැලකෙන ලසිත් මාලිංග ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවට සමුදීම එතරම් පුදුමයට කරුණක් නොවූවත් මේ අසහාය ක්‍රීඩකයා සමුදුන් පුවත සහ එම සිදුවීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ ක්‍රිකට් කරවන බලධාරීන් අමතක කර දැමීම පුදුම සහගත කරුණක් නොවන්නේද ?

ශ්‍රී ලංකාව ක්‍රිකට් ක්‍රීඩාවෙන් එතෙක් මෙතෙක් දිනාගෙන ඇත්තේ ලෝක කුසලාන දෙකක් පමණයි.

ඉන් පළමුවැන්න පන්දුවාර 50 ක්‍රීඩාව සඳහා වන ලෝක කුසලානය 1996 වසරේදී අර්ජුන රණතුංග ප්‍රමුඛ පිරිවර ඔස්ට්‍රේලියාව පරදා දිනාගන්නවා.

ඉන් අනතුරුව ක්‍රිකට් ලෝක කුසලානයන්ට අත පොවන මානයට පැමිණෙන්නට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි වූවත් එහි බර බලන්නට 2014 වනතුරු අවස්ථාවක් ලැබෙන්නේ නෑ.

නැවතත් එම මහඟු අවස්ථාව මෙරට ක්‍රීඩාවට සහ ක්‍රීඩා ලෝලීන්ට උදාකර දුන්නේ ද ලසිත් මාලිංග ප්‍රමුඛ පිරිවරයි.

ඒ පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ජයග්‍රහණය හිමිකරගිනිමින්.

මේ අවසන් තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම හමුවේ පරාජයේ කටුක වේදනාව විඳින්නේ ප්‍රබල ඉන්දීය කණ්ඩායමයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ මෙලෙස නොමැකෙන ලෙස නම සටහන් කළ ලසිත් මාලිංග වේගපන්දුවෙන් තැබූ වාර්තා සහ ලෝක වාර්තා තවත් කිසිවෙකුටත් සම කළ හැකි ඒවා නොවෙයි.

ලසිත් මාලිංග අසමසම ක්‍රීඩකයෙකු වන්නේ ඒ නිසාවෙන්.

මේ ක්‍රීඩකයා ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවට සමුදුන් පුවත කනවැකුණු සැණින් ලොවපුරා මාධ්‍ය ආයතන ක්‍රීඩා සමාජ ඔවුන්ගේ නිල වෙබ් අඩවිවල මේ පුවත මහ ඉහළින් පළකර තිබුනා.

ලසිත් මාලිංග සිය දායකත්වය සැපයූ සියලුම ක්‍රීඩා කණ්ඩායම් ඔහුගේ රුවින් ඔවුන්ගේ නිල වෙබ් අඩවි සරසමින් ලසිත් මාලිංගට සුබපැතුම් එක්කර තිබුනා

එමෙන්ම රට රටවල ක්‍රීඩාව මෙහෙයවන ක්‍රිකට් ආයතන ද මෙම සුපිරි ක්‍රීඩකයා අමතක කර තිබුනේ නෑ.

ඒ ක්‍රිකට් ක්‍රීඩාවට ලසිත් මාලිංග එතරම් සුවිශේෂී පෞර්ෂයක් වන නිසාවෙන්.

මීට අමතරව ක්‍රිකට් ක්‍රීඩාවේ මහගෙදර වන ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ලසිත් මාලිංග වෙනුවෙන් පැවැස්ම (පෝස්ටු) ගණනාවක් සිය නිල ෆේස්බුක් සමාජ මාධ්‍ය ගිණුමේ පළකර ඉන් නොනැවතී එහි කවරයේ පින්තූරයටත් ලසිත් මාලිංගගේ රුව එක්කරන්නට පියවර ගෙන තිබුනා.

ලොව පුරා නන්දෙසින් මෙම ශ්‍රේෂ්ඨ ක්‍රීඩකයාගේ සමුගැන්මට මෙලෙස කෘතඥතාව පළකෙරෙද්දී ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ මහගෙදරට එසේත් නොමැති නම් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ඔහු අමතක වූයේ ඇයි.

මේ ශ්‍රේෂ්ඨ ක්‍රීඩකයාට ශ්‍රී ලංකා ක්‍රිකට් මහගෙදර දොර වැසෙද්දී ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ත් අගමැති මහින්ද රාජපක්ෂත් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂත් පමණක් නොව හිටපු ක්‍රිකට් ලෝක කුසලානය දිනාගත් අනෙක් එකම ක්‍රිකට් නායකයා වන අර්ජුණ රණතුංගත් ලසිත් මාලිංගගේ සමුගැන්ම සහ ඔහු කළ මෙහෙවර පිළිබඳව සටහන් තබන්නට අමතක කර තිබුණේ නැහැ.

ශ්‍රී ලංකා ක්‍රිකට් හිතාමතා අමතක කර දැමූ, නිසි සමුගැන්මක් සිදුකිරීමට අවස්තාව නොදුන් මෙරටින් බිහි වූ ශ්‍රේෂ්ඨ ක්‍රීඩකයින් ගණනාවක් සිටිනවා.

ඒ ක්‍රීඩකයින් ගොන්නටම මේ අසමසම ක්‍රීඩකයාත් එක්වෙයි ද ?

ක්‍රීඩාලෝලීන්ගේ හද පැනනගින වේදනාත්මක පැනය එයයි.

ක්‍රිකට් බලධරයිනි සිදුවූ වරද නිවැරදි කරගැනීමට අවංක වුවමනාවක් ඇත්නම් තාමත් කාලය ඉතිරිව ඇති බව අපගේ හැඟීමයි.