උසාවියට පැනපු රිලව් නටපු නාඩගම – රෝහලටත් වැඩේ දිලා

177

අයාලේ යන රිලව් රංචුවක් නිසා මේ දිනවල වවුනියාවේ අධිකරණ සහ රෝහල් කටයුතු පවත්වා ගෙන යෑමේදී විශාල බාධාවක් උද්ගතව ඇති අතර දිසාපති කාර්යාලය හා තැපැල් කාර්යාලයටද,නගර සභාවටද එම රිළවුන්ගේ කරදරය බලපා තිබේ.

වවුනියාවේ අධිකරණ සංකීර්ණයට රිළා රංචුව පැමිණි අවස්ථා දෙකකදී ඔවුන්ව පළවා හැරීමට එහි සේවකයන්ට රතිඤ්ඤා දැල්වීමට සිදුවීම නිසා අධිකරණ කටයුතු විනාඩි විස්ස බැගින් නතර කිරීමට සිදුව තිබේ.

වවුනියාව මහ රෝහලට කඩාවදින එම රිළා රංචුව රෝගීන්ගේ ආහාරපාන,බිස්කට් හා පලතුරු රැගෙන යෑමත්,රෝහලේ වහලය මතට වී අධික වේගයෙන් දිවීමට පටන් ගන්නා නිසා රෝහල් සේවකයන්ටද රිළවුන් පලවා හැරීම සඳහා රතිඤ්ඤා දැමීමට සිදුව තිබේ.

මේ රිළා රංචුවේ එක් රිළවකු වවුනියාව මහ රෝහලේ හෙදියක් සතු රුපියල් 65000 ක් පමණ වටිනා ජංගම දුරකතනයක් රැගෙන ගොස් ගසක් මතට වී එය සමග සෙල්ලම් කිරීමට පටන් ගැනීමෙන් පසුව රෝහලේ ආරක්ෂක නිලධාරීන් හා ජනතාව එකතුවී මහත් පරිශ්‍රමයක්  දරා එය ආපසු රිළවාගෙන් ලබාගෙන තිබේ.

වනජීවී නිලධාරීන් ප්‍රකාශ කරන්නේ මේ රිළා රංචුව අවස්ථා කීපයකදී අල්ලා මන්නාරමේ කැලයට නිදහස් කළ නමුත් සතියකට පමණ පසුව ඔවුන් සියලූ දෙනාම යළිත් වවුනියාවට පැමිණි බවයි.