රවී මිලියන 400ක වන්දි ඉල්ලයි

249

සාවද්‍ය ප්‍රකාශයක් කර තම කීර්තිනාමයට හානි සිදුකළ බව කියමින් රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතාගෙන් හා පාර්ලිමේන්තු මන්ත්‍රී කෝකිලා ගුණවර්ධන මහත්මියගෙන් රුපියල් මිලියන 200 බැගින් රුපියල් මිලියන 400ක වන්දි ඉල්ලමින් හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා එන්තරවාසි යොමුකර තිබේ.‍

පසුගිය යහපාලන ආණ්ඩුව සමයේදී සීනි සදහා බදු අඩු කිරීම,සීනි ආනයනය/ ගබඩාකරණය වංචනික ලෙස සිදුකිරීම,ළගම මිතුරන් සහ සමාගම් වලට සීනි ආනයනය වෙනුවෙන් තම ගබඩා පහසුකම් ලබාදීම ආදී වංචනික ක්‍රියාවන් රැසක් සිදුකළ බවට පවසමින්,2021.08.07 දින දෙරණ නාලිකාවේ විකාශය වූ වාදපිටිය වැඩසටහනට සහභාගි වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රීනි කෝකිලා ගුණවර්ධන මහත්මිය විසින් හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාට අපහාස සිදුකර ඇති බව රවී කරුණනායක මහතාගේ මාධ්‍ය ඒකකය පවසයි.

එසේම රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතාද ඒ ආකාරයේ චෝදනාවක් ඉදිරිපත් කර ඇති බව මාධ්‍ය ඒකකය පවසයි.

මෙසේ පදනම් විරහිත සාවද්‍ය කරුණු ඉදිරිපත් කරමින් අදාළ රාජ්‍ය අමාත්‍යවරයා සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය විසින් ප්‍රසිද්ධ මාධ්‍යයන් හරහා හුදෙක් ජනතාව නොමගහැරීමේ අභිලාශයෙන් සිදුකල අසත්‍ය ප්‍රකාශයන් හේතුවෙන් පුද්ගලික වශයෙන් හා දේශපාලනමය වශයෙන් තමන්ගේ කීර්තිනාමට බලවත් හානියක් සිදුවූ අතර එමගින් ඒ ඔහුගේ මානසිකත්වයටද දැඩි ප්‍රහාරයක් එල්ල වී ඇති බව මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

අදාළ හානිය වෙනුවෙන් එක් අයෙකුගෙන් රු. මිලියන 200 බැගින් රු.මිලියන 400 ක වන්දියන් ඉල්ලා එන්තරවාසි යොමුකිරීමට මේ වනවිට පියවර ගෙන ඇති අතර,දෙසතියක් ඇතුලත අදාළ වන්දි මුදල් නොලැබුණහොත්, ඔවුනට විරුද්ධව ඉදිරි නීතිමය පියවර ගැනීමටද නියමිතය.