රට වැහුවෙත් වැරදියට..ඇරියෙත් වැරදියට..වගකීම ජනපති ඇතුලු ආණ්ඩුව භාරගත යුතුයි.!

181

මෙරට නිදහස් සෞඛ්‍ය සේවය පුළුල් කිරීමට යහපාලන රජය දැවැන්ත ආයෝජන රැසක් සිදුකළ නිසා කොවිඩ් 19 වෛසරය පාලනය වී ඇති බවත් එය වත්මන් රජයේ හපන්කමක් නොවන බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පැවැසීය.

ඔහු මේ බව සඳහන් කළේ විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (3 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකදීය.

හිටපු ඇමැතිවරයා පෙන්වා දෙන්නේ මෙම වෛරසයේ පරීක්ෂණ කටයුතුවල සත්‍ය තොරතුරු රජය විසින් වසන් කරන බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාඨලී චම්පික රණවක මෙසේද කීය.

‘ඇඳිරිනීතිය පනවලා මෙම වෛරසය මර්දනය කිරීමට උත්සාහ කළාට එය රජයට හරියට කරන්න බැරි වෙලා තියෙනවා. ඒ කියන්නේ ඒ අයට කොතනක හරි වැරදිලා තියෙනවා. ඒ වගේම වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වීමට ගත්තේ ඇඳිරි නීතිය දැම්මට පස්සේ. ඒ නිසා අපි කියන්න ඕන මෙම වසංගතය නිසා රට වසා දැම්මෙත් අවිද්‍යාත්මක ක්‍රමයට. ඒක පවත්වාගෙන ගියෙත් අවිද්‍යාත්මක ක්‍රියාවලියකට. ඒක දැන් විවෘත කරන්න යන්නෙත් අවිද්‍යාත්මක ක්‍රියාවලියකට. ඒ වගේම කිසිදු රටක ආරක්ෂිත අංශවලට අපේ රටේ වගේ රෝගය වැලඳුණේ නෑ. ඊට වගකියන්න ඕන වත්මන් රජයයි. මොකද මේ අය දේශපාලන ගේම් එකක් ගහන්න ගිහින් තමයි රට මේ වගේ විපතකට පත්වුණේ.

මෙහි වගකීම ජනපති, අගමැති ඇතුළු කැබිනට් මණ්ඩලය ගත යුතුයි. විශේෂයෙන් සෞඛ්‍ය ඇමැතිවරිය ඇතුළු සෞඛ්‍ය බලධාරීන් මේ වගකීම ගත යුතුයි.