රංජන්ගේ හඬ පටයක් එළියට!

477

වඩිවෙල් පක්ලිසාමි සහ රත්නසාමි පරමානන්දන් යන අය පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිදුවීම් සම්බන්ධයෙන් සාවද්‍ය තොරතුරු මත අත්අඩංගුවට ගෙන නඩු පැවරීම පිළිබඳ ජනපති කොමිසමට කළ පැමිණිල්ලකට අදාළව නාවික හමුදා බුද්ධි අංශයේ ලූ‍තිනල් කමාන්ඩර් සම්පත් දයානන්ද ඊයේ සාක්ෂි ලබා දුන්නා.

2018 වර්ෂයේ ඔක්තෝම්බර් 23 වන දින සී.අයි.ඩී.ය විසින් අදාළ සිද්ධියට තමාව අත්අඩංගුවට ගත් බවත්,එවක සමූහ මංකොල්ල අංශයේ ස්ථානාධිපතිවරයා වශයෙන් කටයුතු කළ නිශාන්ත සිල්වා මේ සම්බන්ධව තමාගෙන් දිගින් දිගටම ප්‍රශ්න කළ බවත් ලූ‍තිනල් කමාන්ඩර් සම්පත් දයානන්ද කොමිසම හමුවේ ප්‍රකාශ කළා.

අදාළ පුද්ගලයන් අතුරුදන් කිරීම නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩගේ සහ එවක රාජ්‍ය බුද්ධි ප්‍රධානී හෙන්දවිතාන සහ එවක ආරක්ෂක ලේකම් වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ අනුදැනුම සහ බලපෑම මත සිදුකළ බවට සාක්ෂි ලබාදෙන ලෙස නිශාන්ත සිල්වා තමන්ට දිගින් දිගටම බලපෑම් කළ බවයි සාක්ෂිකරු අනාවරණය කළේ.

පැමිණිල්ලට අදාලව මේ අතර මෙම පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක සහ පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා අතර පැවැත්වූ දුරකථන සංවාදයක්ද එහිදී කොමිසම හමුවේදි ඉදිරිපත් කළා.

නඩු ගොනුවලට අදාළ බී වාර්තාව දේශපාලනඥයින් අතට පත් කිරීමත්,දේශපාලනික බලපෑම මත අසත්‍ය සාක්ෂි නිර්මාණය කිරීමටත් නිශාන්ත සිල්වා ප්‍රමුඛ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් යහපාලන රජය සමයේ කටයුතු කර ඇති ආකාරයත් එමඟින් පෙනී යන බවද ඔහු සඳහන් කළා.

Citizen